සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

13. අවිජ්ජා වර්ගය

8. කොට්ඨිත සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝද, ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරණුවෝද බරණැස මිගදාය නම් ලත් ඉසිපතනාරාමයෙහි වාසය කෙරෙත්. එකල්හි වනාහි ආයුෂ්මත් කොට්ඨිත ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේක සැපයෙන් නැගී සිටියේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ යම්තැනකද එතැන්හි පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමග සතුටුවිය. සතුටුවිය යුතුවූත් සිහිකටයුතුවූත් කථාවකොට නිමවා එක් පැත්තක හුන්නේය.

එක්පැත්තක හුන්නාවූ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරුන්ට මේ කාරණය කීහ. ආයුෂ්මත් කොට්ඨිත අවිද්‍යාවය, අවිද්‍යාවයයි කියනු ලැබේ. “ඇවැත්නි, අවිද්‍යාව කවරේද? කොපමණකින් අවිද්‍යාවට පැමිණියේ වේද?”යනුයි.

“ඇවැත්නි, මේ සාසනයෙහි අශ්‍රැතවත් පෘථග්ජනතෙමේ රූපයාගේ ආශ්වාදයද, දොස්ද, නික්මීමද, ඇතිසැටි නොදනියි. වේදනාවේ ආශ්වාදයද, දොස්ද, නික්මීමද, ඇති සැටි නොදනියි. සංඥාවේ ආශ්වාදයද, දොස්ද, නික්මීමද ඇති සැටි නො දනියි. සංස්කාරයන්ගේ ආශ්වාදයද, දොස්ද, නික්මීමද ඇති සැටි නොදනියි. විඥානයාගේ ආශ්වාදයද, දොස්ද, නික්මීමද ඇති සැටි නොදනියි. ඇවැත්නි, මේ අවිද්‍යාවයයි කියනු ලැබේ. මෙපමණකින් අවිද්‍යාවට පැමිණියේද වෙයි”යනුයි.

මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරුන්ට මේ කාරණය කීහ. “ඇවැත් කොට්ඨිතය, විද්‍යාවය, විද්‍යාවයයි කියනු ලැබේ. ඇවැත්නි, විද්‍යාව කවරේද? කොපමණකින් විද්‍යාවට පැමිණියේ වේද?” යනුයි.

ඇවැත්නි, මේ සස්නෙහි ශ්‍රැතවත් ආර්යශ්‍රාවකතෙමේ රූපයාගේ ආශ්වාදයද, දොස්ද, නික්මීමද ඇති සැටි දනියි. වේදනාවගේ ආශ්වාදයද, දොස්ද, නික්මීමද ඇති සැටි දනියි. සංඥාවගේ ආශ්වාදයද, දොස්ද, නික්මීමද, ඇති සැටි දනියි. සංස්කාරයන්ගේ ආශ්වාදයද, දොස්ද, නික්මීමද ඇති සැටි දනියි. විඥානයාගේ ආශ්වාදයද, දොස්ද, නික්මීමද ඇති සැටි දනියි. ඇවැත්නි, මේ විද්‍යාවයයි කියනු ලැබේ. මෙපමණකින් අවිද්‍යාවට පැමිණියේද වෙයි.”

(අටවෙනි කොට්ඨිත සූත්‍රය නිමි.)