සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

15. දිට්ඨි වර්ගය

9. විනිවේස සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, කුමක් ඇති කල්හි, කුමක් නිසා, කුමකට පිවිස, සංයොජනයන්හි වෙලී, බැඳී, ඇලී උපදිත්ද?

“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නාකොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය.

“මහණෙනි, රූපය ඇතිකල්හි, රූපය නිසා, රූපයට පිවිස. සංයොජනයන්හි වෙලී බැඳී, ඇලී උපදිත් වේදනාව ඇතිකල්හි වේදනාව නිසා, වේදනාවට පිවිස, සංයොජනයන්හි වෙලී, බැඳී, ඇලී, උපදිත්. සංඥාව ඇතිකල්හි, සංඥාව නිසා සංඥාවට පිවිස, සංයොජනයන්හි වෙලී බැඳී ඇලී උපදිත්. සංස්කාරයන් ඇතිකල්හි, සංස්කාරයන් නිසා, සංස්කාරයන්ට පිවිස සංයොජනයන්හි වෙලී, බැඳී, ඇලී උපදිත් විඤ්ඤාණය ඇතිකල්හි, විඤ්ඤාණය නිසා, විඤ්ඤාණයට පිවිස, සංයොජනයන්හි වෙලී, බැඳී, ඇලී උපදිත්.

“මහණෙනි, ඒ කුමකැයි සිතන්නාහුද? රූපය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකයි.”

“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් සංයොජනයන්හි වෙලී, බැඳී, ඇලී උපදින්නාහුද?” - “ස්වාමීනි, මෙය නොවේමය.”

“වේදනාව නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි! දුකය.”

“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින්අල්ලා නොගැනීමෙන් සංයෝජනයන්හි වෙලී, බැඳී ඇලී උපදින්නාහුද?” - “ස්වාමීනි, මෙයනොවේමය.”

“සඤ්ඤාව නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි අනිත්‍යය.”

“යමක් අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.”

“යමක් වනාහි අනිත්‍යද දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් සංයෝජනයන්හි වෙලී, බැඳී, ඇලී උපදින්නාහුද?” - “ස්වාමීනි, මෙය නොවේමය.”

“සංස්කාරයෝ නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් අනිත්‍යනම් එය දුකද, සැපද?” - “ස්වාමීනි, දුකය.”

“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් සංයෝජනයන්හි වෙලී, බැඳී, ඇලී උපදින්නාහුද?” - “ස්වාමීනි, එසේ නොවේමය.”

“විඥානය නිත්‍යද, අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් වනාහි අනිත්‍යනම්, එය දුකද, සැපද?” - ස්වාමීනි දුකයි.”

“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් සංයෝජනයන්හි වෙලී, බැඳී, ඇලී උපදින්නාහුද?” - “ස්වාමීනි, එයනොවේමය.”

“මෙසේ දක්නාවූ, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකතෙමේ රූපයෙහිද කලකිරෙයි, වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි, සංස්කාරයන්හිද කලකිරෙයි. විඥානයෙහිද කලකිරෙයි. කලකිරීමෙන් (මාර්ගයට පැමිණීමෙන්) නොඇලෙයි. (ඵලයට පැමිණීමෙන්) මිදෙයි. මිදුනු කල්හි මිදුනේ යයි නුවණින් (පහළ) වෙයි. ජාතිය කෙළවර විය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවන ලදී. මතු ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැත්තේයයි දැනගනියි.”

(නවවෙනි විනිවේස සූත්‍රය නිමි)