සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
1. ඛන්ධක සංයුත්තය
15. දිට්ඨි වර්ගය
10. ආනන්ද සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින්කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පැත්තක හුන්නේය. එක්පැත්තක සිටියාවූ ආනන්ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකළහ.
“ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ යම්ධර්මයක් අසා හුදකලාව, විවේකීව, අප්‍රමාදව, කෙළෙස් තවන වීර්ය ඇතිව වාසය කෙරෙම්ද, (එබඳුවූ) ධර්මයක් භාග්‍යවතුන් වහන්සේ මට කොටින් දෙශනා කරන්නාහු නම් මැනවි” යනුයි.
“ආනන්දය, ඒ කුමකැයි හඟනාහුද?
“රූපය නිත්‍යද අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යයි.”
“යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් මෙය මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි’ දැකීමට සුදුසුද?” - “ස්වාමීනි, එය නොවේමය.”
“වේදනාව නිත්‍යයද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකද? සැපද?” - “ස්වාමීනි දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් මෙය මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි’ දැකීමට සුදුසුද?” - “ස්වාමීනි, එය නොවේමය.”
“සංඥාව නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකද? සැපද?” - “ස්වාමීනි දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් ‘මෙය මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි’ දැකීමට සුදුසුද?” - “ස්වාමීනි, එය එසේ නොවේමය.”
“සංස්කාරය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකද? සැපද?” - “ස්වාමීනි දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් ‘මෙය මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි’ දැකීමට සුදුසුද?” - “ස්වාමීනි, එය එසේ නොවේමය.”
“විඤ්ඤාණය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.
“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් මෙය මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි’ දැකීමට සුදුසුද?” - “ස්වාමීනි, එය එසේ නොවේමය.”
“එබැවින් ආනන්දය, අතීතවූද, අනාගතවූද, වර්තමාන වූද, තමා පිළිබඳවූ හෝ අනුන් පිළිබඳවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උසස්වූ හෝ යම්කිසි රූපයක් වේද, දුරෙහි හෝ සමීපයෙහි හෝ යම් රූපයක් වේද, ‘ඒ සියලු රූපය මාගේ නොවේය. මේ මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවේයයි’ මෙය මෙසේ ඇති පරිදි මනා නුවණින් දතයුතුය.
“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, තමා පිළිබඳවූ හෝ අනුන් පිළිබඳවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උසස්වූ හෝ යම්කිසි වේදනාවක් වේද, දුරෙහි හෝ සමීපයෙහි හෝ යම්කිසි වේදනාවක් වේද, ඒ සියලු වේදනාව ‘මාගේ නොවේය. මේ මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවේ’යයි මෙසේ ඇති පරිදි මනා නුවණින් දත යුතුය.
“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, තමා පිළිබඳවූ හෝ අනුන් පිළිබඳවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ යම්කිසි සංඥාවක් වේද, දුරෙහි හෝ සමීපයෙහි හෝ යම්කිසි සංඥාවක් වේද, ඒ සියලු සංඥාව ‘මාගේ නොවේය. මේ මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවේ’යයි මෙසේ ඇති පරිදි මනා නුවණින් දත යුතුය.
“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, තමා පිළිබඳවූ හෝ අනුන් පිළිබඳවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ යම්කිසි සංස්කාරයෝ වෙද්ද, දුරෙහි හෝ සමීපයෙහි හෝ යම්කිසි සංස්කාරයෝ වෙද්ද, ‘මේ සියලු සංස්කාරයෝ මාගේ නොවේය. මේ මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවේ’යයි මෙසේ ඇති පරිදි මනා නුවණින් දත යුතුය.
“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, තමා පිළිබඳවූ හෝ අනුන් පිළිබඳවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ යම්කිසි විඥානයක් වේද, දුරෙහි හෝ සමීපයෙහි හෝ යම්කිසි විඥානයක් වේද, ‘මේ සියලු විඥානය ‘මාගේ නොවේය. මේ මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවේ’යයි මෙසේ ඇති පරිදි මනා නුවණින් දත යුතුය.
“ආනන්දය, මෙසේ දක්නේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති (ශ්‍රැතවත්) ආර්ය ශ්‍රාවකතෙමේ රූපයෙහිද කළකිරෙයි. වේදනාවෙහිද කළකිරෙයි. සංඥාවෙහිද කළකිරෙයි. සංස්කාරයන්හිද කළකිරෙයි. විඤ්ඤාණයෙහිද කළකිරෙයි කළකිරුණේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන නුවණ ඇතිවෙයි. ඉපදීම නැතිකරන ලද්දේය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමකරනලදී. කළයුතු දෙය කරනලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැත්තේයයි දැනගනියි.
(දසවෙනි ආනන්ද සූත්‍රය නිමි.)
පස්වෙනි දිට්ඨිවර්ගය නිමි.
අජ්ඣත්ත සූත්‍රය, එතං මම සූත්‍රය, සෝ අත්තා සූත්‍රය, නෝචමේසියා සූත්‍රය, මිච්ඡාදිට්ඨි සූත්‍රය, සක්කාය දිට්ඨි සූත්‍රය, අත්තානු දිට්ඨි සූත්‍රය, විනිවේස සූත්‍ර දෙක සහ ආනන්ද සූත්‍රයදැයි මේ වර්ගයෙහි සූත්‍ර දසයකි.
චූලපණ්ණාසකය නිමි.
අන්තවර්ගය, ධම්මකථික වර්ගය, විජ්ජාවර්ගය, කුක්කල වර්ගය සහ දිට්ඨි වර්ගයයි කියා මේ තුන්වෙනි පඤ්ඤාසකයෙහි වර්ග පසක් කියන ලදී.
පණ්ණාසක තුන නිමි
ඛන්ධ සංයුත්තය නිමි.