සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
1. ඛන්ධක සංයුත්තය
4. නතුම්හාක වග්ගය
1. නතුම්හාක සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යමක් තොපගේ නොවේ නම් එය දුරු කරව්. එය දුරුකිරීම තොපට හිත පිණිස, සැප පිණිස වන්නේය මහණෙනි, කුමක් තොපගේ නොවේද? මහණෙනි, රූපය තොපගේ නොවේ. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස, සැප පිණිස වන්නේය. වේදනාව තොපගේ නොවේ. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. සඤ්ඤාව තොපගේ නොවේ. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස, සැප පිණිස වන්නේය. සංස්කාරයෝ තොපගේ නොවෙත්. එය දුරු කරව්. එය දුරුකිරීම තොපට හිත පිණිස, සැප පිණිස වන්නේය. විඤ්ඤාණය තොපගේ නොවේ එය දුරු කරව්. එය දුරුකිරීම තොපට හිත පිණිස, සැප පිණිස වන්නේය.
“මහණෙනි, යම්සේ වනාහි මේ ජේතවනයෙහි තණ, දැව, අතු, කොළ යන යමක් වේද, ජනයා එය ගෙනයන්නේ හෝ වේද, දවන්නේ හෝ වේද, සුදුස්සක් කරන්නේ හෝ වේද, එකල්හි තොපට ජනයා අප ගෙනයන්නේය කියා හෝ, දවන්නේය කියා හෝ, සුදුස්සක් කරන්නේය කියා හෝ කල්පනා වන්නේද?
“ස්වාමීනි, එසේ නොවේමය.
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, එය අපගේ හෝ තමා හෝ තමාගේ දෙයක් හෝ නොවන හෙයිනි”
“මහණෙනි, එපරිද්දෙන්ම රූපය තොපගේ නොවේ එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස, සැප පිණිස වන්නේය. වේදනාව තොපගේ නොවේ. එය දුරු කරව්. එය දුරු කිරීම හිත පිණිස, සැප පිණිස වන්නේය. සංඥාව තොපගේ නොවේ. එය දුරුකරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස, සැප පිණිස වන්නේය. සංස්කාරයෝ තොපගේ නොවේ. එය දුරුකරව් එය දුරුකිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. විඤ්ඤාණය තොපගේ නොවේ. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස, සැප පිණිස වන්නේය.
(පළමුවෙනි නතුම්හාක සූත්‍රය නිමි.)