සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
1. ඛන්ධක සංයුත්තය
5. අත්තදීප වර්ගය
8. සෝණ සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, ‘කලන්දක නිවාප’ නම් ලත් වේළුවනයෙහි (හුණවනයෙහි) වාසය කරන සේක. ඉක්බිති ‘සෝණ’ නම් ගෘහපති පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ, ‘සෝණ’ නම් ගෘහපති පුත්‍රයාහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“සෝණය, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ රූපය නොදනිත්ද, රූපයේ ඇතිවීම නොදනිත්ද, රූපයේ නැතිවීම නොදනිත්ද, රූපය නැතිකිරීමට ගමන්කළයුතු මාර්ගය නොදනිත්ද, වේදනාව නොදනිත්ද, වේදනාවේ ඇතිවීම නොදනිත්ද, වේදනාවේ නැතිවීම නොදනිත්ද, වේදනාව නැතිකිරීමට ගමන්කළයුතු මාර්ගය නොදනිත්ද, සංඥාව නොදනිත්ද, සංඥාවේ ඇතිවීම නොදනිත්ද, සංඥාවේ නැතිවීම නොදනිත්ද, සංඥාව නැතිකිරීමට ගමන්කළයුතු මාර්ගය නොදනිත්ද, සංස්කාර නොදනිත්ද, සංස්කාරයන්හි ඇතිවීම නොදනිත්ද, සංස්කාරයන්හි නැතිවීම නොදනිත්ද, සංස්කාරයන් නැතිකිරීමට ගමන්කළයුතු මාර්ගය නොදනිත්ද, විඤ්ඤාණය නොදනිත්ද, විඤ්ඤාණය ඇතිවීම නොදනිත්ද, විඤ්ඤාණය නැතිවීම නොදනිත්ද, විඤ්ඤාණය නැතිකිරීමට ගමන්කළයුතු මාර්ගය නොදනිත්ද, සෝණය, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණ සම්මත හෝ බ්‍රාහ්මණයන් අතුරෙහි බ්‍රාහ්මණ සම්මත හෝ නොවෙති. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණ භාවයේ ඵලය හෝ බ්‍රාහ්මණ භාවයේ ඵලය හෝ මේ ආත්මයෙහි තෙමේ දැන, අවබෝධ කොට ඊට පැමිණ, වාසය නොකෙරෙත්.
“සෝණය, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ රූපය දනිත්ද, රූපයේ ඇතිවීම දනිත්ද, රූපයේ නැතිවීම දනිත්ද, රූපය නැතිකිරීමට ගමන්කළයුතු මාර්ගය දනිත්ද, වේදනාව දනිත්ද, වේදනාවේ ඇතිවීම දනිත්ද, වේදනාවේ නැතිවීම දනිත්ද, වේදනාව නැතිකිරීමට ගමන්කළයුතු මාර්ගය දනිත්ද, සංඥාව දනිත්ද, සංඥාවේ ඇතිවීම දනිත්ද, සංඥාවේ නැතිවීම දනිත්ද, සංඥාව නැතිකිරීමට ගමන්කළ යුතු මාර්ගය දනිත්ද, සංස්කාර දනිත්ද, සංස්කාරයන් ඇතිවීම දනිත්ද, සංස්කාරයන් නැතිවීම දනිත්ද, සංස්කාරයන් නැතිකිරීමට ගමන්කළයුතු මාර්ගය දනිත්ද, විඤ්ඤාණය දනිත්ද, විඤ්ඤාණයේ ඇතිවීම දනිත්ද, විඤ්ඤාණයේ නැතිවීම දනිත්ද, විඤ්ඤාණය නැතිකිරීමට ගමන්කළයුතු මාර්ගය දනිත්ද, සෝණය, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් අතුරෙහි බ්‍රාහ්මණ සම්මතද වෙති. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණ භාවයේ ඵලයද, බ්‍රාහ්මණ භාවයේ ඵලයද මේ ආත්මයෙහි තෙමේ දැන, අවබෝධකොට, ඊට පැමිණ, වාසයකෙරෙත්.”
(අටවෙනි සෝණ සූත්‍රය නිමි.)