සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
1. ඛන්ධක සංයුත්තය
5. අත්තදීප වර්ගය
7. සොණ සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවාසය කරණසේක.
එකල්හි “සොණ” නම් ගෘහපති පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ සොණ ගෘහපති පුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“සොණයෙනි, යම් ඒ ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ අනිත්‍යවූ, දුක්වූ, පෙරළෙන ස්වභාවවූ රූපය කරණකොටගෙන මම උසස් වූවෙක්මියි කියා හෝ දකිත්ද, සමානවූවෙක්මියි කියා හෝ දකිත්ද, හීන වූවෙක්මියි කියා හෝ දකිත්ද, එය තත්වූ පරිදි නොදැකීම හැර අන් කුමක්ද?
“අනිත්‍යවූ, දුක්වූ, පෙරළෙන ස්වභාවවූ, වේදනාව කරණකොටගෙන මම උසස් වූවෙක්මියි කියා හෝ දකිත්ද, සමාන වූවෙක්මියි කියා හෝ දකිත්ද, හීන වූවෙක්මියි කියා හෝ දකිත්ද, එය තත්වූ පරිදි නොදැනීම හැර අන් කුමක්ද?
“අනිත්‍යවූ, දුක්වූ, පෙරළෙන ස්වභාවවූ සංඥාව කරණකොටගෙන මම උසස් වූවෙක්මියි කියා හෝ දකිත්ද, සමාන වූවෙක්මියි කියා හෝ දකිත්ද, හීන වූවෙක්මියි කියා හෝ දකිත්ද, එය තත්වූ පරිදි නොදැකීම හැර අන් කුමක්ද?
“අනිත්‍යවූ, දුක්වූ, පෙරළෙන ස්වභාවවූ, සංස්කාර කරණකොටගෙන මම උසස් වූවෙක්මියි කියා හෝ දකිත්ද, සමාන වූවෙක්මියි කියා හෝ දකිත්ද, හීන වූවෙක්මියි කියා හෝ දකිත්ද, එය තත්වූ පරිදි නොදැකීම හැර අන් කුමක්ද?
“අනිත්‍යවූ, දුක්වූ, පෙරළෙන ස්වභාවවූ, විඤ්ඤාණය කරණකොටගෙන මම උසස් වූවෙක්මියි කියා හෝ දකිත්ද, සමාන වූවෙක්මියි කියා හෝ දකිත්ද, හීන වූවෙක්මියි කියා හෝ දකිත්ද, එය තත්වූ පරිදි නොදැකීම හැර අන් කුමක්ද?
“සොණයෙනි යම් ඒ ශ්‍රමණකෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ අනිත්‍යවූ, දුක්වූ, පෙරළෙන ස්වභාවවූ, රූපය කරණකොටගෙන මම උසස් වූවෙක්මියි කියා හෝ නොදකිත්ද, සමාන වූවෙක්මියි කියා හෝ නොදකිත්ද, හීන වූවෙක්මියි කියා හෝ නොදකිත්ද, එය තත්වූ පරිදි දැනීම මිස අන් කුමක්ද?
“අනිත්‍යවූ, දුක්වූ, පෙරළෙන ස්වභාවවූ, වේදනාව කරණකොටගෙන මම උසස් වූවෙක්මියි කියා හෝ නොදනිත්ද, සමාන වූවෙක්මියි කියා හෝ නොදනිත්ද, හීන වූවෙක්මියි කියා හෝ නොදනිත්ද, එය තත්වූ පරිදි දැනීම මිස අන් කුමක්ද?
“අනිත්‍යවූ, දුක්වූ, පෙරළෙන ස්වභාවවූ, සංඥාව කරණකොටගෙන මම උසස් වූවෙක්මියි කියා හෝ නොදනිත්ද, සමාන වූවෙක්මියි කියා හෝ නොදනිත්ද, හීන වූවෙක්මියි කියා හෝ නොදනිත්ද, එය තත්වූ පරිදි දැනීම මිස අන් කුමක්ද?
අනිත්‍යවූ, දුක්වූ, පෙරළෙන ස්වභාවවූ සංස්කාරයන් කරණකොටගෙන මම උසස් වූවෙක්මියි කියා හෝ නොදනිත්ද, සමාන වූවෙක්මියි කියා හෝ නොදනිත්ද, හීන වූවෙක්මියි කියා හෝ නොදනිත්ද, එය තත්වූ පරිදි දැනීම මිස අන් කුමක්ද?
“අනිත්‍යවූ, දුක්වූ, පෙරළෙන ස්වභාවවූ, විඤ්ඤාණය කරණකොටගෙන මම උසස් වූවෙක්මියි කියා හෝ නොදනිත්ද, සමාන වූවෙක්මියි කියා හෝ නොදකිත්ද, හීන වූවෙක්මියි කියා හෝ නොදනිත්ද, එය තත්වූ පරිදි දැනීම, මිස අන් කුමක්ද?
“සොණය, කුමක් සිතන්නෙහිද? රූපය නිත්‍යද? අනිත්‍යද?”-“ස්වාමීනි, අනිත්‍යයි.”
“යමක් අනිත්‍ය නම් එය දුකද? සැපද?”-“ස්වාමීනි දුකය.”
“යමක් අනිත්‍ය නම්, දුක නම්, පෙරළෙන ස්වභාව නම්, ‘එය මාගේය. ඒ මම වෙමි. එය මාගේ ආත්මයයයි” දැකීම සුදුසුද?”-“ස්වාමීනි, එය එසේ නොවේය.”
“වේදනාව නිත්‍යද? අනිත්‍යද?”-“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් අනිත්‍ය නම්, එය දුකද? සැපද?”-‘ස්වාමීනි, දුකය.”
“යමක් අනිත්‍ය නම්, දුක නම්, පෙරළෙන ස්වභාව නම්, ‘එය මාගේය. ඒ මම වෙමි. ඒ මාගේ ආත්මයයයි” බැලීම සුදුසුද?”-“ස්වාමීනි, එය එසේ නොවේමය.”
‘සංඥාව නිත්‍යද? අනිත්‍යද?”-“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් අනිත්‍ය නම්, එය දුකද? සැපද?”-“ස්වාමීනි, දුකය.”
“යමක් අනිත්‍ය නම්, දුක නම්, පෙරළෙන ස්වභාව නම්,
‘එය මාගේය. ඒ මම වෙමි. ඒ මාගේ ආත්මයයයි’ බැලීම සුදුසුද?”-“ස්වාමීනි, එය එසේ නොවේමය.”
“සංස්කාර නිත්‍යද? අනිත්‍යද?”-“ස්වාමීනි, අනිත්‍යය.”
‘යමක් අනිත්‍ය නම්, එය දුකද? සැපද?”-“ස්වාමීනි, දුකය.”
“යමක් අනිත්‍ය නම්, දුක නම්, පෙරළෙන ස්වභාව නම් ‘එය මාගේය. ඒ මම වෙමි. ඒ මාගේ ආත්මයයි’ බැලීම සුදුසුද?”-“ස්වාමීනි, එය එසේ නොවේමය.”
“විඤ්ඤාණය නිත්‍යද? අනිත්‍යද?”-“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් අනිත්‍ය නම්, එය දුකද? සැපද?”-“ස්වාමීනි, දුකය.”
“යමක් අනිත්‍ය නම්, දුක නම්, පෙරළෙන ස්වභාව නම්, ‘එය මාගේය. ඒ මම වෙමි. ඒ මාගේ ආත්මයයයි’ දැකීම සුදුසුද?”-“ස්වාමීනි, එසේ නොවේමය.”
“සොණයෙනි, එහෙයින් මේ ශාසනයෙහි මහණ තෙම අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ සියලු රූපය ‘මෙය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේ යයි මෙය මෙසේ යහපත් නුවණින් දතයුතුය.
“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ සියලු වේදනා ‘මෙය මාගේ නොවෙයි ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි’ මෙය මෙසේ යහපත් නුවණින් දතයුතුයි.
“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ සියලු සංඥාව ‘මෙය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේ යයි’ මෙය මෙසේ යහපත් නුවණින් දතයුතුයි.
“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ සියලු සංස්කාර ‘මෙය මාගේ නොවෙයි ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි’ මෙය මෙසේ යහපත් නුවණින් දතයුතුයි.
“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ සියලු විඤ්ඤාණ ‘මෙය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේ’ යයි මෙය මෙසේ යහපත් නුවණින් දතයුතුයි.
“සොණයෙනි, මෙසේ බලන්නාවූ, බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයන්හිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි.
“කලකිරීමෙන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනහුට මිදුනේය යන දැනීම ඇතිවෙයි. ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර නිමවනලදී. කළයුත්ත කරනලදී. මත්තෙහි කළයුත්තක් නැතැයි දනියි.”
(හත්වෙනි සොණ සූත්‍රය නිමි.)