සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
1. ඛන්ධක සංයුත්තය
7. අරහන්ත වර්ගය
9. රාධ සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි ආයුෂ්මත් රාධ ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් රාධ ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකෙළේය.
“ස්වාමීනි, කෙසේ දන්නාවූ කෙසේ දක්නාවූ පුද්ගලයාට මේ සවිඤ්ඤාණක කයෙහිද, බාහිරවූ සියලු ආරම්මණයන්හිද, මමය මාගේය යන හැඟීම් සහිත මානානුසයෝ නොවන්නාහුදැ”යි විචාළේය.
“රාධ, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම් වූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ අතීතානාගත දැන් පවතින්නාවූ යම්කිසි රූපයක් වේද, ඒ සියලු රූප ‘මෙය මාගේ නොවෙයි. මේ මම නොවෙමි. මේ මාගේ ආත්මයද නොවෙයි’, කියන මෙය මෙසේ තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දකීද,
“අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ අතීතානාගත දැන් පවතින්නාවූ යම්කිසි වේදනාවක් වේද, ඒ සියලු, වේදනා ‘මෙය මාගේ නොවෙයි. මේ මම නොවෙමි. මේ මාගේ ආත්මයද නොවෙයි’, කියන මෙය මෙසේ තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දකීද,
“අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම් වූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ අතීතානාගත දැන් පවතින්නාවූ යම්කිසි සංඥාවක් වේද, ඒ සියලු සංඥාවෝ ‘මෙය මාගේ නොවෙයි. මේ මම නොවෙමි. මේ මාගේ ආත්මයද නොවෙයි’, කියන මෙය මෙසේ තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දකීද,
“අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම් වූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ අතීතානාගත දැන් පවතින්නාවූ යම්කිසි සංස්කාරයෝ වේද, ඒ සියලු සංස්කාරයෝ ‘මෙය මාගේ නොවෙයි. මේ මම නොවෙමි. මේ මාගේ ආත්මයද නොවෙයි’, කියන මෙය මෙසේ තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දකීද,
“අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම් වූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ සියුම්වූ හෝ අතීතානාගත දැන් පවතින්නාවූ යම්කිසි විඥානයක් වේද, ඒ සියලු විඥානය ‘මෙය මාගේ නොවෙයි. මේ මම නොවෙමි. මේ මාගේ ආත්මයද නොවෙයි’, කියා මෙය මෙසේ තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දකීද,
“රාධ, මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ පුද්ගලයාට මේ සවිඥානක කයෙහිද, බාහිරවූ සියලු ආරම්මණයන්හිද, ‘මමය මාගේය, යන හැඟීම් සහිත මානානුසයෝ නොවෙතියි, වදාළේය..
එකල්හි ඒ භික්ෂු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගෙන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ ගෞරවයෙන් ගියේය. අනතුරුව ඒ භික්ෂු තෙමේ හුදකලාවූයේ සමූහයාගෙන් වෙන්ව අප්‍රමාදව කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නේ නොබෝ කලකින්ම කුල පුත්‍රයෝ යමක් සඳහා මනාකොට ගිහිගෙයින් නික්ම සස්නෙහි පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව අවසානකොට ඇති ඒ උතුම් අර්ථය මේ ආත්මයේදීම තෙමේ විශිෂ්ට ඥානයෙන් අවබෝධ කොට ඊට පැමිණ වාසය කෙළේය. ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර නිමවනලදී. කළ යුත්ත කරන ලදී. මේ ආත්මභාවයෙහි කළ යුතු අනිකක් නැත්තේයයි දැනගත්තේය. ආයුෂ්මත් රාධ ස්ථවිරයන් වහන්සේද, රහතුන්ගෙන් එක්තරා රහත් භික්ෂුවක් වූයේය.
(නව වෙනි රාධ සූත්‍රය නිමි)