සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
1. ඛන්ධක සංයුත්තය
7. අරහන්ත වර්ගය
10. සුරාධ සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.
එකල්හි වනාහි ආයුෂ්මත් සුරාධ ස්ථවිර තෙමේ භාග්‍යවතුන්වහන්සේ යම්තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් සුරාධ ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කෙළේය.
“ස්වාමීනි, කෙසේ දන්නාවූ කෙසේ දක්නාවූ පුද්ගලයාට මේ සවිඥානක කයෙහිද, බාහිරවූ සියලු ආරම්මණයන්හිද, ‘මමය මාගේය’ යන හැඟීම් සහිත මානය දුරුවූ ත්‍රිවිධ මානය ඉක්මගියාවූ මනාකොට මිදුනාවූ සිතක් වෙයිද,”
“සුරාධ, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි අතීතානාගත දැන් පවත්නා රූපයක් වෙයිද.
ඒ සියලු රූප ‘එය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මයද නොවෙයි’, කියා මෙසේ එය තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දැක දැඩිසේ අල්වා නොගෙන මිදුනේ වෙයිද,
“අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ අතීතානාගත දැන් පවතින්නාවූ යම්කිසි වේදනාවක් වෙයිද,
ඒ සියලු වේදනා ‘එය මගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි.’ කියා මෙසේ එය තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දැක දැඩිසේ අල්වා නොගෙන මිදුනේ වෙයිද,
“අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ අතීතානාගාත දැන් පවතින්නාවූ යම්කිසි සංඥාවක් වෙයිද,
ඒ සියලු සංඥාවෝ ‘මෙය මාගේ නොවෙයි එය මම නොවෙමි. එය මාගේ ආත්මයද නොවෙයි’, කියා මෙය මෙසේ තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දැක දැඩිසේ අල්වා නොගෙන මිදුනේ වෙයිද,
“අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ අතීතානාගත දැන් පවතින්නාවූ යම්කිසි සංස්කාරයෝත් වෙත්ද,
ඒ සියලු සංස්කාරයෝ ‘මෙය මාගේ නොවෙයි. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මයද නොවෙයි’, කියා මෙය මෙසේ තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දකීද,
“අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ අතීත අනාගත දැන් පවත්නා යම් කිසි විඤ්ඤාණයක් වේද,
ඒ සියලු විඤ්ඤාණ ‘එය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මයද නොවෙයි’, කියා එය මෙසේ තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දැන දැඩිසේ නොගෙන මිදුනේ වෙයිද, සුරාධ, මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ පුද්ගලයාට මේ සවිඥානක කයෙහිද, බාහිරවූ සියලු ආරම්මණයන්හිද, ‘මෙය මාගේයයි’ හැඟීම් සහිත මතයන් දුරුවූ ත්‍රිවිධ මානය මනාකොට ඉක්මවූ ශාන්තවූ මනාකොට මිදුනාවූ සිතක් වේයයි” වදාළේය.
එකල්හි ඒ භික්ෂු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව අනුමෝදන්වී හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ, ගෞරවයෙන් ගියේය. අනතුරුව ඒ භික්ෂු තෙමේ හුදකලාවූයේ සමූහයාගෙන් වෙන්ව අප්‍රමාදව කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නේ නොබෝ කලකින්ම කුල පුත්‍රයෝ යමක් සඳහා මනාකොට ගිහි ගෙයින් නික්ම සස්නෙහි පැවිදිවෙත්ද, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව අවසානකොට ඇති ඒ උතුම් අර්ථය මේ ආත්මයේදීම තෙමේ විශිෂ්ට ඥානයෙන් අවබෝධ කොට ඊට පැමිණ වාසය කෙළේය. ජාතිය ක්ෂය විය. බ්‍රහ්ම චර්‍ය්‍යාවෙහි හැසිර නිමවන ලදී. කළ යුත්ත කරන ලදී. මේ ආත්මභාවයෙහි කළ යුතු අනිකක් නැත්තේයයි දැනගත්තේය. ආයුෂ්මත් සුරාධ ස්ථවිර තෙමේද රහතුන්ගෙන් එක්තරා රහත් භික්ෂුවක් වූයේය.
(දහවෙනි සුරාධ සූත්‍රය නිමි.)
හත්වෙනි අරහන්ත වර්ගය නිමි.
උපාදි සූත්‍රයද මඤ්ඤමාන සූත්‍රයද, අභිනන්දන සූත්‍රයද, අනිත්‍යය සූත්‍රයද, දුක්ඛ සූත්‍රයද, අනාත්ම සූත්‍රයද, අනත්තනීය සූත්‍රයද, රජනීය සණ්ඨිත සූත්‍රයද, රාධ සූත්‍රයද, සුරාධ සූත්‍රයද, වෙත්.