සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
1. ඛන්ධක සංයුත්තය
8. ඛජ්ජනීය වර්ගය
1. අස්සාද සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අශ්‍රැතවත් පුථුජ්ජනතෙමේ රූපයාගේ ආශ්වාදයද, (රසවිඳීම) ආදීනවයද, (දෝෂයද) නිස්සරණයද තත්වූ පරිදි නොදනියි, වේදනාවගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිදි නොදනියි.
“සංඥාවගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි නොදනියි. සංස්කාරයන්ගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි නොදනියි. විඥානයාගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි නොදනියි.
“මහණෙනි, ශ්‍රැතවත් ආර්යශ්‍රාවකතෙමේ රූපයාගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූපරිදි දනියි. වේදනාවගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිදි දනියි. සංඥාවගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි දනියි සංස්කාරයන්ගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි දනියි. විඤ්ඤාණයාගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි දනියි” වදාළේය.
(පළමුවෙනි අස්සාද සූත්‍රය නිමි.)