සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

1. නකුල පිතු වර්ගය

8. උපාදාපරිතස්සන සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, තොපට දැඩිසේ ගැනීමෙන් තණ්හාවෙන් වෙන භයද, දැඩිසේ නොගැනීමෙන් වන නිර්භයද දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමි.

“මහණෙනි, කෙසේනම් දැඩිසේ ගැනීමෙන් වන භයවේද? මහණෙනි, මේ ලෝකයෙහි අශ්‍රැතවත් පෘථග්ජනතෙමේ මේ රූපය මගේය මෙය මම වෙමි. මෙය මාගේ ආත්මයයි රූපය දකියිද ඔහුගේ ඒ රූපය වෙනස්වෙයි. අන් ආකාරයකට පෙරළෙයි. ඕහට රූපයාගේ වෙනස්වීම අන් ආකාරයකට පෙරලීම නිසා සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ උපදිත්.

“මේ වේදනාව මගේය. මෙය මම වෙමි. මෙය මාගේ ආත්මයයි වේදනාව දකියිද, ඔහුගේ ඒ වේදනාව වෙනස් වෙයි. පෙරලෙයි. ඕහට වේදනාව වෙනස්වීම පෙරලීම හෙතුකොට ගෙන ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ උපදිත්.

“මේ සංඥාව මගේය. මෙය මම වෙමි. මෙය මාගේ ආත්මයයි. සංඥාව දකියිද, ඔහුගේ ඒ සංඥාව වෙනස් වෙයි. පෙරළෙයි. ඔහුට සංඥාවේ වෙනස්වීම, පෙරලීම හේතු කොට ගෙන සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ උපදිත්.

“මේ සංස්කාරයෝ මගේය. මෙය මම වෙමි. මෙය මාගේ ආත්මයයි සංස්කාරයන් දකියිද, ඔහුගේ ඒ සංස්කාරයෝ වෙනස් වෙත්. පෙරළෙත්. ඕහට සංස්කාරයන්ගේ වෙනස්වීමෙන් පෙරළීමෙන් ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ උපදිත්.

“මේ විඥානයෝ මගේය මෙය මම වෙමි. මෙය මාගේ ආත්මයයි විඥානය දකියිද, ඒ විඥානය වෙනස් වෙයි. පෙරළෙයි. ඕහට විඥානයාගේ වෙනස්වීමෙන් පෙරළීමෙන් ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ උපදිත්.

“මහණෙනි, මෙසේ වනාහි ගැනීම හේතුකොටගෙන භය ඇතිවෙයි, මහණෙනි, කෙසේනම් දැඩිව නොගැනීම හේතු කොට ගෙන නිර්භය වේද, මහණෙනි, මේ ලෝකයෙහි ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ මෙය මාගේ නොවේය. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ යයි රූපය දකියි ඔහුගේ ඒ රූපය වෙනස්වෙයි. පෙරළෙයි. ඕහට රූපයාගේ වෙනස්වීමෙන් පෙරලීමෙන් සෝක, පරිදේව, දුක් දොම්නස් සහ උපායාසයෝ නූපදිත්.

“මෙය මගේ නොවේය මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේයයි වේදනාව දකියිද ඔහුගේ ඒ වේදනාව වෙනස්වෙයි. පෙරළෙයි. ඔහුට වේදනාවගේ වෙනස්වීමෙන්, පෙරළීමෙන් ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නූපදිත්.

“මෙය මගේ නොවේය. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේයයි සංඥාව දකියිද, ඔහුගේ ඒ සංඥාව වෙනස්වෙයි පෙරළෙයි. ඔහුට සංඥාවේ වෙනස්වීමෙන් පෙරලීමෙන් ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නූපදිත්.

“මෙය මගේ නොවේය. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේයයි සංස්කාරයන් දකියිද? ඔහුගේ ඒ සංස්කාරයෝ වෙනස්වෙත්. පෙරළෙත්. ඕහට සංස්කාරයන්ගේ වෙනස්වීමෙන්, පෙරලීමෙන් සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නූපදිත්.

“මෙය මගේ නොවෙයි මෙය මම නොවෙමි මෙය මාගේ ආත්මය නොවේයයි විඥානය දකියිද ඔහුගේ ඒ විඥානය වෙනස් වෙයි. පෙරළෙයි. ඕහට විඥානයාගේ වෙනස්වීමෙන්, පෙරළීමෙන් සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නූපදිත්. මහණෙනි, මෙසේ වනාහි දැඩිව නොගැනීමෙන් නිර්භය ඇතිවේයයි” වදාළ සේක.

(අටවෙනි උපාදාපරිතස්සන සූත්‍රය නිමි.)