සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

9. ථෙර වර්ගය

7. ඛෙමක සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි බොහෝ ස්ථවිර භික්ෂූහු කොසොඹෑ නුවර සමීපයෙහිවූ ඝොසිතාරාමයෙහි වෙසෙති. එකල්හි වනාහි ආයුෂ්මත් ඛෙමක ස්ථවිරතෙම උපන් රොග ඇත්තේ, දුකට පත්වූයේ, දැඩි ගිලන් බැව් ඇත්තේ, බදරිකාරාමයෙහි වාසය කරයි. ඉක්බිති ස්ථවිර භික්ෂූහු සවස් වේලෙහි විවේකයෙන් නැගී සිටියාහු, ආයුෂ්මත් දාසක භික්ෂුව කැඳවූහ.

“ඇවැත් දාසක, එනු මැනව. ඔබ ඛෙමක භික්ෂුව යම් තැනකද, එතැනට පැමිණෙව. පැමිණ, ඛෙමක භික්ෂුවට මෙසේ කියව. ‘ඇවත් ඛෙමක, ස්ථවිර භික්ෂූහු ඔබට මෙසේ කීහු:-‘කිම? ඇවැත්නි, ඔබට ඉවසිය හැකිද? කිම? යැපිය හැකිද? කිම? දුක්ඛ වේදනාවෝ අඩුවෙත්ද? වැඩි වෙත්ද? ඒ දුඃඛ වේදනාවන්ගේ අඩුවීම පෙනේද? වැඩිවීම නොපෙනේද? (යනුයි.)

“එසේය, ඇවැත්ති,’ කියා ආයුෂ්මත් දාසක භික්ෂුතෙම ස්ථවිර භික්ෂූන්ට උත්තරදී ආයුෂ්මත් ඛෙමක භික්ෂුතෙම යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ඛෙමක භික්ෂුවට මෙය කීයේය. ‘ඇවැත් ඛෙමක, ස්ථවිර භික්ෂූහු ඔබට මෙසේ කීහ. ‘ඇවැත්නි, කිම? ඔබට ඉවසාගත හැකිද? කිම? ඉරියවු යැපිය හැකිද? කිම? දුඃඛ වේදනාවෝ අඩුවෙද්ද? වැඩි නොවෙද්ද, මේ දුඃඛ වේදනාවන්ගේ අඩුවීම පෙනේද? වැඩිවීම නොපෙනේදැ?”යි කියායි.

“ඇවැත්නි, මට ඉවසාගත නොහැකිය. ඉරියවු යැපිය නොහේ. මාගේ දැඩි දුඃඛ වේදනාවෝ වැඩි වෙති. අඩු නොවෙති. මේ දුඃඛ වේදනාවන්ගේ වැඩිවීම පෙනෙයි. අඩුවීම නොපෙනේයයි” (කීය.)

ඉක්බිති ආයුෂ්මත් දාසක භික්ෂුතෙම ස්ථවිර භික්ෂූහු යම් තැනෙක (වෙසෙද්ද,) එතැනට පැමිණියේය. පැමිණ, ස්ථවිර භික්ෂූන්ට මේ කරුණ දැන්වීය:- “ඇවැත්නි, ඛෙමක භික්ෂුතෙම මෙසේ කියයි:- ‘ඇවැත්නි, මට ඉවසාගත නොහේ. (ඉරියවු) යැපිය නොහේ. මාගේ දැඩි දුඃඛ වේදනාවෝ වැඩි වෙති. අඩු නොවෙති. ඒ දුඃඛ වේදනාවන්ගේ වැඩිවීම පෙනේ. අඩුවීම නොපෙනේය (යනුයි.)

“ඇවැත් දාසක, එනු මැනවි. ඔබ ඛෙමක භික්ෂුතෙම යම්තැනක වෙසේද, එතැනට එළඹෙව. එළඹ, ඛෙමක භික්ෂුවට මෙසේ කියව:- ඇවැත්නි, ස්ථවිර භික්ෂූහු තොපට මෙසේ කීහු:-

“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ පඤ්ච-උපාදානස්කන්ධයෝ වදාරණ ලද්දාහුය. ඔහු කවරහුද? රූප උපාදානස්කන්ධය, වෙදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාන උපාදානස්කන්ධය (යන මොහුය.) ආයුෂ්මත් ඛෙමක ස්ථවිරතෙමේ මේ පඤ්ච-උපාදානස්කන්ධයන්හි මමයයි කියා හෝ මගේයයි කියා හෝ කිසිවක් දකීදැ?”යි (කියායි.)

“එසේය. ඇවැත්නි’යි ආයුෂ්මත් දාසක භික්ෂුතෙම ස්ථවිර භික්ෂූන්ට උත්තරදී ආයුෂ්මත් ඛෙමක භික්ෂුව යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ඛෙමක භික්ෂුවට මෙය කීය:- “ඇවැත් ඛෙමක, ස්ථවිර භික්ෂූහු මෙසේ කීහ:- “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ පඤ්ච-උපාදානස්කන්ධයෝ වදාරණ ලදහ. ඔහු කවරහුද? රූපොපාදානස්කන්ධය, වෙදනොපාදානස්කන්ධය, සංඥොපාදානස්කන්ධය, සංස්කාරොපාදානස්කන්ධය, විඤ්ඤානොපාදානස්කන්ධය (යන පසය.) ආයුෂ්මත් ඛෙමක භික්ෂු තෙමේ මේ පඤ්ච-උපාදානස්කන්ධයන්හි මමයයි කියා හෝ මගේයයි කියා හෝ කිසිවක් දකීද?” (යනුයි.)

“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ පඤ්චඋපාදානස්කන්ධයෝ දෙසන ලද්දාහුය. ඔහු කවරහුද? රූපොපාදානස්කන්ධය; වෙදනොපාදානස්කන්ධය; සංඥොපාදානස්කන්ධය, සංස්කාරොපාදානස්කන්ධය, විඥානොපාදානස්කන්ධය; (යන පසය) ඇවැත්නි, මම මේ පඤ්චොපාදානස්කන්ධයන්හි වනාහි මමයයි කියා හෝ මගේයයි කියා හෝ කිසිවක් නොමදකිමි’යි (කීය.)

ඉක්බිති ආයුෂ්මත් දාසක භික්ෂුතෙම ස්ථවිර භික්ෂූහු යම් තැනෙක්හිද එතැනට එළඹියේය. එළඹ, ස්ථවිර භික්ෂූන්ට මෙය දැන්විය. ‘ඇවැත්නි, ඛෙමක භික්ෂුතෙම මෙසේ කීයේය:-‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ පඤ්චොපාදානස්කන්ධයෝ වදාරණ ලද්දාහ. ඔහු කවරහුද? රූපොපාදානස්කන්ධය, වෙදනොපාදානස්කන්ධය, සංඥොපාදානස්කන්ධය, සංස්කාරොපාදානස්කන්ධය, විඥානොපාදානස්කන්ධය (යන පසය.) ඇවැත්නි, මේ පඤ්චොපාදානස්කන්ධයන්හි වනාහි මමයයි කියා හෝ මගේ යයි කියා හෝ කිසිවක් නොදකිමි’ (යනුයි.)

“ඇවැත් දාසක, එනු මැනවි. ඔබ ඛෙමක භික්ෂුතෙම යම් තැනෙකද, එතැනට පැමිණෙව. පැමිණ, ඛෙමක භික්ෂුවට මෙසේ කියව:-

“ඇවැත් ඛෙමක; ස්ථවිර භික්ෂූහු ඔබට මෙසේ කීහ:-“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ පඤ්චොපාදානස්කන්ධයෝ වදාරණ ලද්දාහුය. ඔහු කවරහුද? රූපොපාදානස්කන්ධය, වෙදනොපාදානස්කන්ධය, සංඥොපාදානස්කන්ධය, සංස්කාරොපාදානස්කන්ධය, විඥානොපාදානස්කන්ධය (යන පසය.) ආයුෂ්මත් ඛෙමක භික්ෂුතෙම ඉදින් මේ පඤ්චොපාදානස්කන්ධයන්හි මමයයි කියා හෝ මගේයයි කියා හෝ කිසිවක් නොදක්නේල, එසේවී නම් ආයුෂ්මත් ඛෙමක භික්ෂුතෙම අර්හත්වූ ක්ෂීණාශ්‍රවයෙකැයි” කියාවේ.

“එසේය. ඇවැත්නි, කියා ආයුෂ්මත් දාසක භික්ෂුතෙම ස්ථවිර භික්ෂූන්ට උත්තරදී ආයුෂ්මත් ඛෙමක භික්ෂුතෙම යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ඛෙමක භික්ෂුවට මේ කාරණය සැළකෙළේය.

“ඇවැත්නි; ඛෙමක ස්ථවිර භික්ෂූහු තොපට මෙසේ කීවාහුය. ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ පඤ්චොපාදානස්කන්ධයෝ වදාරණ ලදහ. ඔහු කවරහුද? රූපොපාදානස්කන්ධය, වෙදනොපාදානස්කන්ධය, සංඥොපාදානස්කන්ධය, සංස්කාරොපාදානස්කන්ධය, විඥානොපාදානස්කන්ධය (යන පසය.) ඉදින් ආයුෂ්මත් ඛෙමක භික්ෂු තෙම මේ පඤ්චොපාදානස්කන්ධයන්හි මමයයි කියා හෝ මගේයයි කියා හෝ කිසිවක් නොදක්නේල. එසේවීනම් ආයුෂ්මත් ඛෙමක භික්ෂුතෙමේ ක්ෂය කරනලද ආශ්‍රවයන් ඇති රහත් කෙනෙක’ (යනුයි.)

“ඇවැත්නි, භාග්‍යවතුන්වහන්සේ විසින් මේ පඤ්චොපාදානස්කන්ධයෝ වදාරණ ලද්දාහ. ඔහු කවරහුද? රූපොපාදානස්කන්ධය, වේදනොපාදානස්කන්ධය, සඤ්ඤුපාදානස්කන්ධය, සංස්කාරෝපාදානස්කන්ධය, විඤ්ඤාණූපාදානස්කන්ධය, (යන පසය) ඇවැත්නි, මම මේ පඤ්චොපාදානස්කන්ධයන්හි මමයයි කියා හෝ මගේයයි කියා හෝ කිසිවක් මම නොදනිමි. මම රහත්වූ ක්ෂයකළ ආශ්‍රවයන් ඇත්තේද නොමවෙමි. එහෙත් මා විසින් මේ පඤ්චොපාදානස්කන්ධයන්හි මම වෙමියි නොගැනීම අවබෝධ කරනලදී. (‘මෙය මම වෙමියි නොදක්නෙමි’යි කීය.)

ඉක්බිති ආයුෂ්මත් දාසක භික්ෂුතෙම ස්ථවිර භික්ෂූහු යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ස්ථවිර භික්‍ෂූන්ට මෙය කීයේය. “ඇවැත්නි, ඛෙමක භික්ෂුතෙම මෙසේ කීයේය. “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ පඤ්චොපාදානස්කන්ධයෝ වදාරණලදහ, ඔහු කවරහුද? රූපොපාදානස්කන්ධය, වේදනොපාදානස්කන්ධය, සංඥොපාදානස්කන්ධය, සංස්කාරොපාදානස්කන්ධය, විඤ්ඤානොපාදානස්කන්ධය (යන පසය.) ඇවැත්නි, මේ පඤ්චොපාදානස්කන්ධයන්හි මමයයි කියා හෝ මගේයයි කියා හෝ කිසිවක් මම නොදකිමි. (මම) අර්හත් ක්ෂීණාශ්‍රවයෙක්ද නොවෙමි. එහෙත් මා විසින් මේ පඤ්චොපාදානස්කන්ධයන්හි මම වෙමි නොගැනීම අවබොධ කරන ලදී. “මෙය මම වෙමියි නොමදක්නෙමි”යි (කීය.)

“ඇවැත්, දාසක එනු මැනවි. ඔබ ඛෙමක භික්ෂුතෙම යම්තැනකද, එතැනට පැමිණෙව, පැමිණ, ඛෙමක භික්ෂුවට මෙසේ කියව. “ඇවැත් ඛෙමක, ස්ථවිර භික්ෂූහු ඔබට මෙසේ කීහ. ඇවැත් ඛෙමක මේ යමකට මම වෙමියි කියන්නෙහිද? ඒ කුමකට ‘මම වෙමි’යි කියන්නෙහිද? රූපය “මම වෙමියි කියන්නෙහිද? රූපය හැර ‘මම වෙමි’යි කියන්නෙහිද? වේදනාව මම වෙමියි කියන්නෙහිද? වේදනාව හැර මම වෙමියි කියන්නෙහිද? සංඥාව ‘මම වෙමි’යි කියන්නෙහිද? සංඥාව හැර මම වෙමියි කියන්නෙහිද? සංස්කාරයන් මම වෙමියි කියන්නෙහිද? සංස්කාරයන් හැර ‘මම වෙමියි කියන්නෙහිද? විඤ්ඤාණය මම වෙමි”යි කියන්නෙහිද? විඤ්ඤාණය හැර ‘මම වෙමි’යි කියන්නෙහිද? ඇවැත් ඛෙමක මේ යමක් මම වෙමි’යි කියන්නෙහිද? ඒ කුමක් මම වෙමි’යි කියන්නෙහිද? (යනුයි.)

“එසේය, ඇවැත්නි,” කියා ආයුෂ්මත් දාසක භික්ෂු තෙම ස්ථවිර භික්ෂූන්ට උත්තරදී ආයුෂ්මත් ඛෙමක භික්ෂු තෙම යම් තැනෙක්හි (වෙසේද) එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ඛෙමක භික්ෂුවට මෙය කීයේය. ‘ඇවැත් ඛෙමක, ස්ථවිර භික්ෂූහු ඔබට මෙසේ කීය. ‘ඇවැත් ඛෙමක, මේ යමක් මම වෙමියි කියන්නෙහිද? ඒ කුමක් මම වෙමියි කියන්නෙහිද? රූපය මම වෙමියි කියන්නෙහිද? රූපය හැර මම වෙමියි කියන්නෙහිද? වේදනාව මම වෙමියි කියන්නෙහිද? වේදනාව හැර මම වෙමියි කියන්නෙහිද? සංඥාව මම වෙමියි කියන්නෙහිද? සංඥාව හැර මම වෙමියි කියන්නෙහිද? සංස්කාරයෝ මම වෙමියි කියන්නෙහිද? සංස්කාරයන් හැර මම වෙමියි කියන්නෙහිද? විඤ්ඤාණය මම වෙමියි කියන්නෙහිද? විඤ්ඤාණය හැර මම වෙමියි කියන්නෙහිද? ඇවැත් ඛෙමක, මේ යමක් මම වෙමියි කියන්නෙහිද? ඒ කුමක් මම වෙමියි කියන්නෙහිද?” (යනුයි.)

“ඇවැත් දාසක, කම් නැත, මේ නැවත නැවත යාමෙන් ඊමෙන් කවර ප්‍රයෝජනද?

“ඇවැත්නි, සැරයටිය ගෙණ එව. ස්ථවිර භික්ෂූහු යම් තැනෙක්හිද, එතැනට මමම යන්නෙමියි කීය.

ඉක්බිති ආයුෂ්මත් ඛෙමක භික්ෂූතෙම සැරයටියෙහි එල්බගෙන ස්ථවිර භික්ෂූහු යම්තැනෙක (වෙසෙද්ද) එතැනට පැමිණියේය. පැමිණ, ස්ථවිර භික්ෂූන් සමග සතුටුවිය. සතුටු විය යුතු සිහිකටයුතු කථාව කොට නිමවා එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ආයුෂ්මත් ඛෙමක භික්ෂුවට ස්ථවිර භික්ෂූහු මෙසේ කීවාහුය. “ඇවැත් ඛෙමක, මේ යමක් මම වෙමියි කියන්නෙහි නම් ඒ කුමක් මම වෙමියි කියන්නෙහිද?

“රූපය මම වෙමියි කියන්නෙහිද? රූපය හැර අනිකක් මම වෙමියි කියන්නෙහිද? වේදනාව මමවෙමියි කියන්නෙහිද? වේදනාව හැර අනිකක් මම වෙමියි කියන්නෙහිද? සංඥාව මම වෙමියි කියන්නෙහිද? සංඥාව හැර අනිකක් මම වෙමියි කියන්නෙහිද? සංස්කාරයන් මම වෙමියි කියන්නෙහිද? සංස්කාරයන් හැර අනිකක් මම වෙමියි කියන්නෙහිද? විඤ්ඤාණය මම වෙමියි කියන්නෙහිද? විඤ්ඤාණය හැර අනිකක් මම වෙමියි කියන්නෙහිද? ඇවැත් ඛෙමක, මේ යමක් මම වෙමියි කියන්නෙහිද? මේ කුමක් මම වෙමියි කියන්නෙහිද?” කියායි.

“ඇවැත්නි, මම රූපය මම වෙමියි නොකියමි. රූපය හැර අනිකක් මම වෙමියි නොකියමි. වේදනාව මම වෙමියි නොකියමි. වේදනාව හැර අනිකක් මම වෙමියි නොකියමි. සංඥාව මම වෙමියි නොකියමි. සංඥාව හැර අනිකක් මම වෙමියි නොකියමි. සංස්කාර මම වෙමියි නොකියමි සංස්කාර හැර අනිකක් මම වෙමියි නොකියමි. විඤ්ඤාණය මම වෙමියි නොකියමි. විඤ්ඤාණය හැර අනිකක් මම වෙමියි නොකියමි. මා විසින් පඤ්චොපාදානස්කන්ධයන්හි මම වෙමියි ගැනීම දැනගන්නා ලදී. මේ දෙය මම වෙමියි නොදක්නෙමියි” (කීයේය.)

“ඇවැත්නි, යම්සේ වනාහි උපුල් මලක හෝ රත් පියුම් මලක හෝ හෙළපියුම් මලක හෝ යම් සුවඳක් වන්නේද, යමෙක් වනාහි එය පත්‍රයාගේ සුවඳයයි හෝ වර්ණයාගේ සුවඳයයි හෝ රේණුවල සුවඳයයි හෝ මෙසේ කියන්නේද, (එසේ) කියන්නාවූ හෙතෙම මනාව කියන්නේද?” - “ඇවැත්නි, ඒ මනාව කීමක් නොවේ.

“ඇවැත්නි, මනාකොට ප්‍රකාශ කරන්නෙක් ඒ කෙසේ කියන්නේද?- “ඇවැත්නි, මනාකොට ප්‍රකාශ කරන්නෙක් මලේ සුවඳයයිම කියන්නේය.”

“ඇවැත්නි, එපරිද්දෙන්ම රූපය මම වෙමියි නොකියමි. රූපය හැර අනිකක් මම වෙමියි නොකියමි. වේදනාව මම වෙමියි නොකියමි. වේදනාව හැර අනිකක් මම වෙමියි නොකියමි. සංඥාව මම වෙමියි නොකියමි. සංඥාව හැර අනිකක් මම වෙමියි නොකියමි. සංස්කාර මම වෙමියි නොකියමි. සංස්කාර හැර අනිකක් මම වෙමියි නොකියමි. විඤ්ඤාණය මම වෙමියි නොකියමි. විඤ්ඤාණය හැර අනිකක් මම වෙමියි නොකියමි. එහෙත් මා විසින් පඤ්චොපාදානස්කන්ධයන්හි මම වෙමියි ගැනීම දැන ගන්නා ලදී. මෙනම් දෙය මම වෙමියි නොදකිමි.

“ඇවැත්නි, හුදෙක් ආර්ය ශ්‍රාවකයාහට ඔරංභාගීය සංයොජන පස ප්‍රහීණවූවාහු වෙති. එසේද වුවත් ඔහුගේ පඤ්චොපාදානස්කන්ධයන්හි සියුම්වූ මම වෙමි යන මානයද මම වෙමි යන ආලයද මම වෙමි යන අනුසයද නොනැසුණේ වෙයි.

“හෙතෙම පසු කාලයෙහි රූපය මේය, රූපයගේ හේතුව මේය, රූපයගේ නැවැත්ම මේය, වේදනාව මේය, වේදනාවගේ හේතුව මේය, වේදනාවගේ නැවැත්ම මේය, සංඥාව මේය, සංඥාවගේ හේතුව මේය, සංඥාවගේ නැවැත්ම මේය, සංස්කාරයෝ මේය, සංස්කාරයන්ගේ හේතුව මේය, සංස්කාරයන් හෝ නැවැත්ම මේය, විඤ්ඤාණය මේය, විඤ්ඤාණයාගේ හේතුව මේය, විඤ්ඤාණය නැවැත්ම මේයයි පඤ්චොපාදානස්කන්ධයන්හි ඉපදීම හා විනාසය බලමින් වාසය කරයි. මේ පඤ්චොපාදානස්කන්ධයන්හි ඉපදීම හා විනාශය බලමින් වසන්නාවූ ඔහුගේ පඤ්චොපාදානස්කන්ධයන්හි නොනැසුණු යම් සියුම්වූ මම වෙමි යන මානයෙන් වේද, මම වෙමි යන ආලයෙක් වේද, මම වෙමි යන අනුසයෙක් වේද, ඔහුගේ ඒ ක්ලෙශයද සහමුලින් නැතිවීමට යෙයි.

“ඇවැත්නි, යම්සේ වනාහි කිලිටිවූ කුණු බැඳුණු වස්ත්‍රයක්වේද, ඒ වස්ත්‍රය හිමියෝ දන්නාහුය. රෙදි සෝදන්නාහට ඔහු ඒ වස්ත්‍රය අලු මැටි ගොම යනාදියකින් තෙමා මැඩ පිරිසිදු ජලයෙහි දමා සෝදයි. එයින් ඒ වස්ත්‍රය පිරිසිදු වුවද එසේ ඒ වස්ත්‍රයාගේ නොනැසුණාවූ සියුම්වූ අලු ගඳ හෝ කර මැටි ගඳ හෝ ගොමගඳ හෝ ඇත්තේය. ඒ වස්ත්‍රය රෙදි සෝදන්නා හිමියන්ට දෙයි. හිමියෝ වස්ත්‍රය සුවඳ කැවූ කරඬුවෙහි දමන්නාහුය. ඒ වස්ත්‍රයාගේ සියුම්වූ යම් අලු ගඳක් හෝ කර මැටි ගඳක් හෝ ගොම ගඳක් හෝ නොනැසුණේද ඒ සියුම්වූ ගඳද එයින් සහමුලින් නැසීමට යෙයි.

“ඇවැත්නි, එපරිද්දෙන්ම ආර්යශ්‍රාවකයාගේ ඔරම්භාගිය සංයොජන පස නැතිවූයේ වී නමුත් පඤ්චොපාදානස්කන්ධයන්හි සියුම්වූ මම වෙමි යන මානයද මම වෙමි යන ආලයද, මම වෙමි යන අනුසයද සහමුලින් නොනැසුනේ වෙයි.

“හෙතෙම පසු කාලයෙහි “රූපය මේය, රූපයගේ හේතුව මේය, රූපයගේ විනාශය මේය, වේදනාව මේය වේදනාවගේ හේතුව මේය, වේදනාවගේ විනාශය මේය, සංඥාව මේය, සංඥාවගේ හේතුව මේය, සංඥාවගේ විනාශය මේය, සංස්කාරයෝ මේය, සංස්කාරයන්ගේ හේතුව මේය, සංස්කාරයන්ගේ විනාශය මේය, විඤ්ඤාණය මේය, විඤ්ඤාණයාගේ හේතුව මේය, විඤ්ඤාණයාගේ විනාශය මේයයි” පඤ්චොපාදානස්කන්ධයන්හි ඉපදීම හා විනාශය නැවත නැවත බලමින් වාසය කෙරෙයි. මේ පඤ්චොපාදානස්කන්ධයන්හි ඉපදීම හා විනාශය නැවත නැවත බලමින් වාසය කරන්නාවූ ඔහුගේ පඤ්චොපාදානස්කන්ධය නොනසන ලද්දාවූ ඉතා සියුම්වූ මම වෙමි යන යම් මානයෙක් වේද, මම වෙමි යන යම් ඡන්දයෙක් වේද, මම වෙමි යන යම් අනුසයයෙක් වේද, ඒ ක්ලෙශයද නැසීමට යෙයි” (කීයේය.)

මෙසේ කී කල්හි ස්ථවිර භික්ෂූහු ආයුෂ්මත් ඛෙමක භික්ෂුවට මෙය කීහ. “අපි වනාහි ආයුෂ්මත් ඛෙමකයන් වෙහෙසනු කැමැත්තෙන් නො ඇසුවෙමු. එහෙත් ආයුෂ්මත් ඛෙමකතෙම ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනය විස්තර වශයෙන් කියන්නට ප්‍රකාශ කරන්නට දන්වන්නට පෙන්වන්නට විවෘත කරන්නට මනාව බෙදන්නට ප්‍රකට කරන්නට සමර්ථවේ. ආයුෂ්මත් ඛෙමකයන් විසින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ඒ මේ ශාසනය කියන ලද්දේය, ප්‍රකාශ කරන ලද්දේය, පෙන්වන ලද්දේය, පිහිටුවන ලද්දේය, විවෘත කරන ලද්දේය. මනාව බෙදන ලද්දේය, ප්‍රකට කරන ලද්දේය.”

මේ සූත්‍රය ආයුෂ්මත් ඛෙමක භික්ෂුතෙම කීයේය. සතුටු සිතැති ස්ථවිර භික්ෂූහු ආයුෂ්මත් ඛෙමක භික්ෂුවගේ වචනයට සතුටුවූහ.

මේ සූත්‍රය කියන කල්හි සැටක් පමණ ස්ථවිර භික්ෂූන්ගේද, ආයුෂ්මත් ඛෙමක භික්ෂුවගේද සිත් උපාදානයන් විසින් අල්වා නොගෙන ආශ්‍රවයන් කෙරෙන් මිදුණහුය.

(සත්වන ඛෙමක සූත්‍රය නිමි.)