සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
1. ඛන්ධක සංයුත්තය
9. ථෙර වර්ගය
6. අස්සජි සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ කලන්දක නිවාප නම් තන්හි කරවනලද වේළුවනාරාමයෙහි වසනසේක. එකල්හි වනාහි හටගත් ලෙඩ ඇති දුකට පැමිණි දැඩි ගිලන් බැව් ඇති ආයුෂ්මත් අස්සජි ස්ථවිරතෙම කාශ්‍යප සිටුහු විසින් කරවනලද ආරාමයෙහි වෙසෙයි. ඉක්බිති ආයුෂ්මත් අස්සජි ස්ථවිරතෙමේ උපස්ථායකයන් කැඳවී. ‘ඇවැත්නි! එවු, තෙපි භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙකද, එතැනට පැමිණෙවු, පැමිණ මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳිවු, ‘ස්වාමීනි! අස්සජි භික්ෂුතෙම වැළඳුණු රෝග ඇත්තේය. දුකට පැමිණියේය. දැඩි ගිලන්බැව් ඇත්තේය. හෙතෙම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳී”යයි (කියමි.)
‘මෙසේද කියවු, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අස්සජි භික්ෂුතෙම යම්තැනෙක්හිද එතැනට අනුකම්පාව පිණිස පැමිණෙතොත් මැනවයි’ (කියායි). ‘එසේය ඇවැත්නි.” කියා ඒ භික්ෂු ආයුෂ්මත් අස්සජි තෙරුන්ට උත්තරදී භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද, එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්හ, එකත්පස්ව හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට ‘ස්වාමීනි, අස්සජි භික්ෂුතෙම වැළඳුණු රොග ඇත්තේය, දුකට පත්වූයේය, දැඩි ගිලන්බැව් ඇත්තේය, හෙතෙම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳී, මෙසේද කියයි. ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අස්සජි භික්ෂුතෙම යම් තැනෙක්හිද, එතැනට අනුකම්පා පිණිස වැඩියහොත් මැනව” (යනුයි.) භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දභාවයෙන් ඉවසා වදාළසේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස්වේලෙහි ඵලසමවතින් නැගීසිටිසේක් ආයුෂ්මත් අස්සජි භික්ෂුතෙම යම් තැනෙකද, එහි වැඩිසේක, ආයුෂ්මත් අස්සජි තෙර වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දුටුයේමය, දැක ඇඳෙන් නැගිටින අයුරෙන් ගෞරව කෙළේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ‘අස්සජිය! කම්නැත. ඔබ ඇඳෙන් නොනැගිටුව, පනවන ලද්දාවූ මේ අසුන් වෙති, එහි මම හිඳගනිමි”යි කියා භාග්‍යවතුන් වහන්සේ පැනවූ අස්නෙහි වැඩහුන්සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ ආයුෂ්මත් අස්සජි තෙරුන්ට මෙය වදාළසේක. “අස්සජිය, තොපට ඉවසාගත හැකිද? යැපියහැකිද? කිම! දුක් වේදනා පසුබසිද්ද, දියුණු නොවෙද්ද, මේ දුඃඛ වේදනාවන්ගේ අඩුවීම පෙනේද? දියුණුවීම නොපෙනේද?’ ‘ස්වාමීනි, මට ඉවසිය නොහැකිය, ඉරියව් පැවැත්විය නොහැකිය, මාගේ මේ දැඩි දුක් වේදනාවෝ වැඩිවෙති, අඩු නොවෙත්. මේ දුක් වේදනාවන්ගේ වැඩිවීම පෙනෙයි, අඩුවීම “නොපෙනෙයි,” කිම අස්සජිය, තොපට කිසි පසුතැවීමක් නැත්තේද, කිසි විපිළිසරබවක් නැත්තේද?” “ස්වාමීනි, මට ස්වල්පනොවූ පසුතැවීමක් ස්වල්ප නොවූ විපිළිසර බවක් ඇතැයි” කීය. “කිම? අස්සජිය, තට තෙමේ ශීලයෙන් චොදනා නොකෙරේද,” “ස්වාමීනි, මට තෙමේ ශීලයෙන් චොදනා නොකරේයයි” (කීය.) “ඉදින් අස්සජිය,” තට තෙමේ ශීලයෙන් චොදනා නොකෙරේ නම් තට කුමන පසුතැවීමක්ද කවර විපිළිසර බවක්දැ?යි” (වදාළහ.)
“ස්වාමීනි, මම පෙර වනාහි ගිලන්බවද, ආශ්වාස ප්‍රාශ්වාසයන්ද සංසිඳවා කලකිරී වසමි. ඒ මම (චතුර්ථධ්‍යාන) සමාධිය නොලබමි, ස්වාමීනි ඒ සමාධිය නොලබන්නාවූ මට ‘මම වනාහි කෙසේ (සාසනයෙන්) නොපිරිහෙම්දැ’යි මෙබඳු (අදහසක්) වෙයි.” “අස්සජිය, සමාධියම සාරයයි සිතන්නාවූ සමාධියම ශ්‍රමණභාවයයි සිතන්නාවූ යම් ඒ මහණ බමුණෝ වෙද්ද, ඒ සමාධිය නොලබන්නාවූ ඔවුන්ට ‘අපි නොපිරිහෙන්නමෝ වෙමුවා’යි මෙබඳු අදහසෙක් වෙයි.
“අස්සජිය, ඒ කුමකැයි සිතන්නෙහිද? රූපය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද?” “ස්වාමීනි! අනිත්‍යය.”
“වේදනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි අනිත්‍ය”ය.
“සංඥාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“සංස්කාරයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙද්ද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” “ස්වාමීනි, අනිත්‍යය.”
එහෙයින් අස්සජිය, අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ තමා පිළිබඳවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි රූපයෙක් වේද, ඒ සියලු ‘රූපය මාගේ නොවේ, මම නොවෙමි, මාගේ ආත්මය නොවේයයි’ මෙසේ තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.
“අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි වේදනාවක් වේද, ‘ඒ සියලු වේදනාව මාගේ නොවේ, මම නොවෙමි, මාගේ ආත්මය නොවේයයි’ මෙසේ තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.
“අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි සංඥාවක් වේද, ‘ඒ සියලු සංඥාව මාගේ නොවේ, මම නොවෙමි, මාගේ ආත්මය නොවේයයි’ මෙසේ තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.
“අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම් හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි සංස්කාරයෝ වෙද්ද, ‘ඒ සියලු සංස්කාරයෝ මාගේ නොවෙත්. මම නොවෙමි, මාගේ ආත්මය නොවෙත්යයි’ මෙසේ තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.
“අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි විඤ්ඤාණයෙක් වේද, ‘ඒ සියලු විඤ්ඤාණය මාගේ නොවේ. මම නොවෙමි මාගේ ආත්මය නොවේයයි’ මෙසේ තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.
මෙසේ දක්නාවූ ආර්යශ්‍රාවකතෙම රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයන්හිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරුණේ නොඇලෙයි. නොඇලීමෙන් (ක්ලෙශයන් කෙරෙන්) මිදේ. මිදුණු කල්හි (කෙලෙසුන් ගෙන්) මිදුණේයයි යන දැනීමවේ. ජාතිය ක්ෂයවිය. මාර්ග බ්‍රහ්මචර්යාව වැස නිමවන ලද්දේය. කළයුතු දැය කොට නිමවන ලද්දේය. මේ අර්හත් ඵලය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනී.
“හෙතෙම ඉදින් සැප වේදනාවක් විඳීද, “ඒ සැප වේදනාව අනිත්‍යයයි දැනගනී. තෘෂ්ණාවෙන් බැසනොගන්නා ලද්දීයයි දැනගනී. සතුටු නොවන ලද්දීයයි දැනගනී. ඉදින් දුඃඛ වේදනාව විඳීද, ඒ දුක්ඛ වේදනාව අනිත්‍යයයි දැනගනී. තෘෂ්ණාවෙන් බැස නොගන්නා ලද්දීයයි දැනගනී. සතුටු නොවන ලද්දීයයි දැනගනී. ඉදින් උපෙක්ෂා වේදනාව විඳීද, ඒ උපෙක්ෂා වේදනාව අනිත්‍යයයි දැනගනී. තෘෂ්ණාවෙන් බැස නොගන්නා ලද්දීයයි දැනගනී. සතුටු නොවන ලද්දීයයි දැනගනී.
“හෙතෙම ඉදින් සැප වේදනාව විඳීද, නොඇලුනේ ඒ සැප වේදනාව විඳී. ඉදින් දුඃඛවේදනාව විඳීද, (දුක කෙළවරවී සැප ලැබේවායි) නොඇලුනේ ඒ දුඃඛ වේදනාව විඳී. ඉදින් උපේක්ෂා වේදනාව විඳීද, නොඇලුනේ ඒ උපේක්ෂා වේදනාව විඳී, හෙතෙම කය කෙළවර කොට ඇති වේදනාව විඳින්නේ ‘කය කෙළවර කොට ඇති වේදනාව විඳීමයි’ දැනගනී. දිවි කෙළවරකොට ඇති වේදනාව විඳින්නේ දිවි කෙළවර කොට ඇති වේදනාව විඳීමයි’ දැනගනී. කය බිඳීයාමෙන් පසු ජිවිතය කෙළවරවීමෙන් මෙහිම සතුටු නොවන ලද්දාවූ ඒ සියලු වේදනා සිහිල් බවට පැමිණෙන්නාහුයයි දැනගනී.
“අස්සජිය, යම්සේ වනාහි තෙල් නිසාද, වැටිය නිසාද, තෙල් පහන දැල්වෙන්නේද, ඒ තෙලද, වැටියද ක්ෂයවීමෙන් හේතුව නැතිව යාමෙන් පහන නිවෙන්නේද, අස්සජිය, එපරිද්දෙන්ම මහණතෙම කය කෙළවරකොට ඇති වේදනාව විඳින්නේ ‘කය කෙළවරකොට ඇති වේදනාව විඳිමියි’ දැනගනී. දිවි කෙළවරකොට ඇති වේදනාව විඳින්නේ ‘දිවි කෙළවර කොට ඇති වේදනාව විඳීමියි’ දැනගනී. කය බිඳීමෙන් මත්තෙහි ජීවිතක්ෂයවීමෙන් මෙහිම නොසතුටුවන ලද්දාවූ සියලු වේදනාවෝ සිහිල් වන්නාහුයයි දැන ගනීයයි” වදාළසේක.
(හයවෙනි අස්සජි සූත්‍රය නිමි.)