සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

10. පුප්ඵ වර්ගය

6. සාමුද්දක සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති මහණෙක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තෙක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ඒ මහණතෙම භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කීයේය.

“ස්වාමීනි, යම් රූපයෙක් නිත්‍යවේද, ස්ථිරවේද, හැම කල්හි තිබේද, නොපෙරෙලෙන ස්වභාවය ඇත්තේ වේද, සදාකාලික දෙයක් මෙන් එසේම සිටින්නේද, (එබඳු) කිසි රූපයෙක් ඇත්තේද?

“ස්වාමීනි, යම් වේදනාවක් තොමෝ නිත්‍යවේද, ස්ථිරවේද, හැමකල්හි තිබේද, නොපෙරෙලෙන ස්වභාවය ඇත්තීවේද, සදාකාලික වස්තුවක් වැනිව එසේම සිටින්නීද, (එබඳු) කිසි වේදනාවක් තොමෝ ඇත්තීද?

“ස්වාමීනි, යම් සංඥාවක් තොමෝ නිත්‍යවේද, ස්ථිරවේද, සැම කල්හි තිබේද, නොපෙරෙලෙන ස්වභාවය ඇත්තීවේද, සදාකාලික වස්තුවක්සේ එපරිද්දෙන්ම සිටින්නීද? (එබඳු) කිසි සංඥාවක් තොමෝ ඇත්තීද?

“ස්වාමීනි, යම් සංස්කාර කෙනෙක් නිත්‍යවෙද්ද, ස්ථිර වෙද්ද, හැමදා තිබෙද්ද, නොපෙරෙලෙන ස්වභාවය ඇත්තාහු වෙද්ද, සදාකාලික වස්තුවක් සමානව එපරිද්දෙන්ම සිටිද්ද, (එබඳු) කිසි සංස්කාර කෙනෙක් ඇත්තාහුද?

“ස්වාමීනි, යම් විඥානයෙක් නිත්‍යවේද, ස්ථිරවේද, හැම කල්හි තිබේද, නොපෙරෙලෙන ස්වභාවය ඇත්තේවේද, සදාකාලික ද්‍රව්‍යයක් මෙන් එපරිද්දෙන්ම සිටින්නේද (එබඳු) කිසි විඥානයෙක් ඇත්තේද?

“මහණ, යම් රූපයෙක් නිත්‍යවේද, ස්ථිරවේද, නොපෙරෙලෙන ස්වභාවය ඇත්තේ වේද, සදාකාලික වස්තුවක් බඳුව එපරිද්දෙන්ම සිටින්නේද, (එබඳු) කිසි රූපයෙක් නැත්තේමය.

“මහණ, යම් වේදනාවක් තොමෝ නිත්‍යවන්නීද, ස්ථිර වන්නීද, හැමකල්හි තිබේද, නොපෙරෙලෙන ස්වභාවය ඇත්තීවේද, සදාකාලික දෙයක් මෙන් එසේම සිටින්නීද, (එබඳු) කිසි වේදනාවක් තොමෝ නැත්තීමය.

“මහණ, යම් සංඥාවක් තොමෝ නිත්‍යවන්නීද, ස්ථිර වන්නීද, හැම කල්හි තිබෙන්නීද, නොපෙරෙලෙන ස්වභාවය ඇත්තීවේද, සදාකාලික වස්තුවක්සේ එපරිද්දෙන්ම සිටින්නීද, (එබඳු) කිසි සංඥාවක් තොමෝ නැත්තීමය.

“මහණ, යම් සංස්කාර කෙනෙක් නිත්‍යවෙද්ද, ස්ථිර වෙද්ද, හැමකල්හි තිබෙන්නීද, නොපෙරෙලෙන ස්වභාවය ඇත්තාහු වෙද්ද, සදාකාලික ද්‍රව්‍යයක් සමානව එසේම සිටින්නාහුද, (එබඳු) කිසි සංස්කාර කෙනෙක් නැත්තාහුමය.

“මහණ, යම් විඥානයෙක් නිත්‍යවේද, ස්ථිරවේද, හැම කල්හි තිබේද, නොපෙරෙලෙන ස්වභාවය ඇත්තේ වේද, සදාකාලික වස්තුවක් බඳුව එසේම සිටින්නේද, (එබඳු) කිසි විඥානයෙක් නැත්තේමයයි” (වදාළසේක.)

(හයවෙනි සාමුද්දක සූත්‍රය නිමි.)