සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
1. ඛන්ධක සංයුත්තය
10. පුප්ඵ වර්ගය
5. නඛ සිඛ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක්හි හුන්නේය. එක්පසෙක්හි හුන්නාවූ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කීයේය.
“ස්වාමීනි, නිත්‍යවූ, ස්ථිරවූ, සදාකාලිකවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, සදාකාලික දැයක් සමානව එපරිද්දෙන් සිටින්නාවූ, කිසිරූපයෙක් ඇත්තේද? ස්වාමීනි, නිත්‍යවූ, ස්ථිරවූ, සැමදා පවතින්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, සදාකාලික වස්තුවක් සේ එපරිද්දෙන්ම සිටින්නාවූ කිසි වේදනාවක් තොමෝ ඇත්තීද? ස්වාමීනි, නිත්‍යවූ, ස්ථිරවූ, සැම කල්හි පවතින්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ සදාකාලික වස්තුවක් මෙන් එපරිද්දෙන්ම සිටින්නාවූ කිසි සංඥාවක් තොමෝ ඇත්තීද? ස්වාමීනි, නිත්‍යවූ, ස්ථිරවූ හැමකල්හි පවත්නාවූ, සදාකාලික වස්තුවක් සමානව එයාකාරයෙන්ම සිටින්නාවූ, කිසි සංස්කාර කෙනෙක් ඇත්තාහුද? ස්වාමීනි, නිත්‍යවූ, ස්ථිරවූ, හැම කල්හි පවතින්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, සදාකාලික දැයක් සේ එපරිද්දෙන්ම සිටින්නාවූ, කිසි විඥානයෙක් ඇත්තේද?”
“මහණ, නිත්‍යවූ, ස්ථිරවූ, හැම කල්හි පවතින්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, සදාකාලික වස්තුවක් මෙන් එපරිද්දෙන්ම සිටින්නාවූ, කිසි රූපයෙක් නැත්තේමය. මහණ, නිත්‍යවූ, ස්ථිරවූ, හැම කල්හි පවතින්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, සදාකාලික දැයක් සේ එපරිද්දෙන්ම සිටින්නාවූ, කිසි වේදනාවක් තොමෝ නැත්තීමය, මහණ, නිත්‍යවූ, ස්ථිරවූ, සැමදා පවතින්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, සදාකාලික වස්තුවක් සේ එසේම සිටින්නාවූ, කිසි සංඥාවක් තොමෝ නැත්තීමය. මහණ, නිත්‍යවූ ස්ථිරවූ හැම කල්හි පවතින්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, සදාකාලික වස්තුවක් සේ එසේම සිටින්නාවූ කිසි සංස්කාර කෙනෙක් නැත්තාහුමය. මහණ, නිත්‍යවූ, ස්ථිරවූ, හැම කල්හි පවතින්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, සදාකාලික වස්තුවක් සමානව එසේම සිටින්නාවූ, කිසි විඥානයෙක් නැත්තේමය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පස්ටිකක් නියපිටෙහි තබාගෙන ඒ මහණහට මෙය වදාළසේක: “මහණ සදාකාලික ද්‍රව්‍යයක් සමව එසේම සිටින්නාවූ නිත්‍යවූ ස්ථිරවූ හැමකල්හි පවතින්නාවූ නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ මෙපමණවූද රූපයෙක් නැත්තේමය. මහණ, ඉදින් නිත්‍යවූ ස්ථිරවූ සියලු කල්හි පවත්නාවූ නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ මෙපමණවූද රූපයෙක් වීනම් මනාකොට දුක් ක්ෂය කිරීම පිණිස මාර්ගබ්‍රහ්මචර්යා වාසය නොපණවන්නේය. මහණ, යම් හේතුවකින් වනාහි නිත්‍යවූ ස්ථිරවූ හැමකල්හි පවත්නාවූ නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ මෙතෙකුදු රූපයෙක් නැත්තේද, එහෙයින් මනාකොට දුක් ක්ෂය කරනු වස් මාර්ග බ්‍රහ්මචර්යය විසීම පණවන්නේය.
“මහණ, සදාකාලික වස්තුවක් වැනිව එසේම සිටින්නාවූ, නිත්‍යවූ, ස්ථිරවූ, හැම කල්හි පවතින්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූද, මෙපමණවූද වේදනාවක් තොමෝ නැත්තීමය. මහණ, නිත්‍යවූ, ස්ථිරවූ, හැම කල්හි පවත්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ මෙපමණවූද වේදනාවක් තොමෝ වී නම් මනාකොට දුක් ක්ෂයකිරීම පිණිස මාර්ග බ්‍රහ්මචර්යාවෙහි විසීම නොපණවන්නේය. මහණ, යම් හෙයකින් නිත්‍යවූ, ස්ථිරවූ, හැමකල්හි පවත්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ මෙපමණවූද, වේදනාවක් තොමෝ නැත්තීද, එහෙයින් මනාකොට දුක ක්ෂය කරනු පිණිස මාර්ගබ්‍රහ්මචරියාවෙහි විසීම පණවන්නේය.
“මහණ, සදාකාලික වස්තුවක් බඳුව, එපරිද්දෙන්ම සිටින්නාවූ, නිත්‍යවූ, ස්ථිරවූ, හැමදා පවත්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, මෙපමණවූද සංඥාවක් තොමෝ නැත්තීමය. මහණ, නිත්‍යවූ, ස්ථිරවූ, හැමකල්හි පවත්නාවූ නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, මෙපමණවූද සංඥාවක් වීනම් මනාකොට දුක ක්ෂයකිරීමට මාර්ගබ්‍රහ්මචරියාවෙහි විසීම නොපණවන්නේය. මහණ, යම් හෙයකින් නිත්‍යවූ, ස්ථිරවූ, හැම කල්හි පවත්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, මෙපමණවූද සංඥාවක් තොමෝ නැත්තීද, එහෙයින් මනා කොට දුක ක්ෂයකිරීමට මාර්ග බ්‍රහ්මචරියාවෙහි විසීම පණවන්නේය.
“මහණ, සදාකාලික දෙයක් සමව ඒ අයුරෙන්ම සිටින්නාවූ, නිත්‍යවූ, ස්ථිරවූ, හැම කල්හි පවත්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, මෙපමණවූද සංස්කාර කෙනෙක් නැත්තාහුමය මහණ, නිත්‍යවූ ස්ථිරවූ හැම කල්හි පවත්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, මෙපමණවූද සංස්කාරයෝවූ නම්, මනාකොට දුක ක්ෂයකිරීමට මාර්ගබ්‍රහ්මචරියාවෙහි විසීම නොපණවන්නේය. මහණ, යම් හෙයකින් නිත්‍යවූ, ස්ථිරවූ, හැමකල්හි පවත්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, මෙපමණවූද සංස්කාර කෙනෙක් නැත්තාහුද, එහෙයින් මනාකොට දුක ක්ෂයකිරීමට මාර්ග බ්‍රහ්මචරියාවෙහි විසීම පණවන්නේය.
“මහණ, සදාකාලික වස්තුවක් සමානව එසේම සිටින්නාවූ, නිත්‍යවූ, ස්ථිරවූ, හැමකල්හි පවත්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූද, මෙපමණවූද විඥානයෙක් නැත්තේමය. මහණ, නිත්‍යවූ, ස්ථිරවූ, හැමකල්හි පවත්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, මෙපමණවූද විඥානයෙක් වීනම් මනාකොට දුක ක්ෂයකිරීමට මාර්ග බ්‍රහ්මචරියාවෙහි විසීම නොපණවන්නේය. මහණ, යම් හෙයකින් නිත්‍යවූ, ස්ථිරවූ, හැමකල්හි පවත්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, මෙපමණවූද විඥානයෙක් නැත්තේද, එහෙයින් මනාකොට දුක ක්ෂය කිරීමට මාර්ග බ්‍රහ්මචරියාවෙහි විසීම පණවන්නේය.
“මහණ, ඒ කුමැයි සිතන්නෙහිද? “රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යය වේද, දුක් වේද, පෙරළෙන ස්වභාවය ඇත්තේ වේද, ‘මේ රූපය මාගේය, මේ මම වෙමි. මේ මාගේ ආත්ම’යයි ඒ රූපය (දෘෂ්ටි වශයෙන්) දක්නට සුදුසු වේද?” -“ස්වාමීනි, මෙය නුසුදුසුමය.”
“වේදනා තොමෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” -“ස්වාමීනි, අනිත්‍යය.”
“යම් වේදනාවක් තොමෝ අනිත්‍ය වේද, ඕතොමෝ දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකය.”
“යම් වේදනාවක් තොමෝ අනිත්‍ය වන්නීද, දුක් වන්නීද, පෙරළෙන ස්වභාවය ඇත්තීද, ‘මේ වේදනාව මාගේය, මේ මම වෙමි. මේ මාගේ ආත්ම’යයි ඒ වේදනාව (දෘෂ්ටි වශයෙන්) දක්නට සුදුසුද?” - “ස්වාමීනි, මෙය නුසුදුසුමය.”
“සංඥා තොමෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යම් සංඥාවක් තොමෝ අනිත්‍ය වේද, ඕ දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකය.”
“යම් සංඥාවක් තොමෝ අනිත්‍ය වේද, දුක් වේද, පෙරළෙන ස්වභාවය ඇත්තීද, ‘මේ සංඥාව මාගේය මේ මම වෙමි. මේ මාගේ ආත්ම’යයි ඒ සංඥාව (දෘෂ්ටි වශයෙන්) දක්නට සුදුසුද?” - “ස්වාමීනි, මේ සුදුසු නොවේමය.”
“සංස්කාරයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යම් සංස්කාර කෙනෙක් අනිත්‍ය වෙද්ද, ඒ සංස්කාරයෝ දුක් හෝ සැප හෝ වෙද්ද?” - “ස්වාමීනි, දුක්ය”
“යම් සංස්කාර කෙනෙක් අනිත්‍ය වෙද්ද, දුක් වෙද්ද, පෙරළෙන ස්වභාවය ඇත්තාහු වෙද්ද, ‘මේ සංස්කාරස්කන්ධය මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්ම’යයි (දෘෂ්ටි වශයෙන්) දක්නට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමය.”
“විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යම් විඥානයෙක් අනිත්‍ය වේද, ඒ විඥානය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකය.”
“යම් විඥානයෙක් අනිත්‍ය වේද, දුක් වේද, පෙරළෙන ස්වභාවය ඇත්තේ වේද, මේ විඥානය මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්ම’යයි ඒ විඥානය (දෘෂ්ටි වශයෙන්) දක්නට සුදුසුද” - “ස්වාමීනි මෙය සුදුසු නොවේමය.”
“මහණ, එහෙයින් තමා පිළිබඳවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උසස්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, යම්කිසි රූපයෙක් වේද, දුරවූ හෝ ළඟවූ හෝ යම්කිසි රූපයෙක් වේද, ‘මේ රූපය මාගේ නොවේ. මේ මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවේ’ යයි මෙසේ මේ සියලු රූපය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.
“තමා පිළිබඳවූ හෝ අනුන් පිළිබඳවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උසස්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, යම්කිසි වේදනාවක් වේද, දුරවූ හෝ ළඟවූ හෝ යම් වේදනාවක් වේද, ‘මේ වේදනාව මාගේ නොවේ. මේ මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මේ හැම වේදනාව තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.
“තමා පිළිබඳවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උසස්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, යම්කිසි සංඥාවක් වේද, දුරවූ හෝ ළඟවූ හෝ යම් සංඥාවක් වේද, ‘මේ සංඥාව මාගේ නොවේ. මේ මම නොවෙමි, මේ මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මේ හැම සංඥාව තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.
“තමා පිළිබඳවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ උතුම්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද යම්කිසි සංස්කාර කෙනෙක් වෙද්ද, දුරවූ හෝ ළඟවූ හෝ යම් සංස්කාරයෝ වෙද්ද, ‘මේ සංස්කාර ස්කන්ධය මාගේ නොවේ. මේ මම නොවෙමි මේ මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මේ හැම සංස්කාරය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.
“තමා පිළිබඳවූ හෝ අනුන් පිළිබඳවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, යම්කිසි විඥානයෙක් වේද, දුරෙහි හෝ සමීපයෙහි හෝ යම් විඥානයෙක් වේද, ‘මේ විඥානය මාගේ නොවේ. මේ මම නොවෙමි, මේ මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මේ සියලු විඥානය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දතයුතුය.
“මහණ, මෙසේ දක්නාවූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති, ආර්යශ්‍රාවකතෙම රූපයෙහිද කලකිරෙයි, වේදනාවෙහිද කලකිරෙයි, සංඥාවෙහිද කලකිරෙයි, සංස්කාරයන්හිද කලකිරෙයි, විඥානයෙහිද කලකිරෙයි. කලකිරුණේ නොඇලෙයි, නොඇලීමෙන් (කෙලෙසුන් කෙරෙන්) මිදෙයි. මිදුණු කල්හි ‘මිදුණේ’යයි දැනීම වෙයි. ඉපදීම ක්ෂය වූවාය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවන ලද්දේය. සතර මාර්ගයෙන් කටයුතු කොට නිමවන ලද්දේය. මේ රහත් බව පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීයයි” වදාළසේක.
(පස්වෙනි නඛසිඛ සූත්‍රය නිමි.)