සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
3. දිට්ඨි සංයුත්තය
1. සොයෙව පෙය්‍යාල වර්ගය
15. තථාගත සූත්‍රය. (1)
[1] මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] “මහණෙනි, කුමක් ඇතිකල්හි කුමක් නිසා කුමකට පැමිණ ‘සත්ත්වතෙමේ මරණින් මතු වන්නේය’ යන මේ දෘෂ්ටිය උපදීද?”
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රභවකොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට ඇත්තාහ. ස්වාමීනි මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම වදාරණ සේක් නම් මැනවි.”
“මහණෙනි, එසේ නම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමැයි” කීය.
“ස්වාමීනි, එසේයයි,” ඒ භික්ෂූහු, භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
[3] “මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පැමිණ ‘සත්ත්වතෙමේ මරණින් මතු වන්නේය යන’ මේ දෘෂ්ටිය උපදියි. වේදනාව ඇතිකල්හි වේදනාව නිසා වේදනාවට පැමිණ ‘සත්වතෙමේ මරණින් මතු වන්නේය’ යන මේ දෘෂ්ටි උපදියි. සංඥාව ඇතිකල්හි සංඥාව නිසා සංඥාවට පැමිණ ‘සත්ත්වතෙමේ මරණින් මතු වන්නේය’ යන මේ දෘෂ්ටි උපදියි. සංස්කාර ඇති කල්හි සංස්කාර නිසා සංස්කාරයට පැමිණ ‘සත්ත්වතෙමේ මරණින් මතු වන්නේය’ යන මේ දෘෂ්ටිය උපදියි. විඥානය ඇති කල්හි විඥානය නිසා විඥානයට පැමිණ ‘සත්ත්ව තෙමේ මරණින් මතු වන්නේය’ යන මේ දෘෂ්ටි උපදියි.
[4] “මහණෙනි, ඒ කුමකැයි සිතව්ද? රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වෙයිද?” -“ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වෙන ස්වභාවද, එය දැඩිකොට අල්වා නොගෙන ‘සත්ත්වතෙමේ මරණින් මතු වන්නේය’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
“වේදනාව නිත්‍යය හෝ අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යයද එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද එය දැඩිකොට අල්වා නොගෙන ‘සත්ත්වතෙමේ මරණින් මතු වන්නේය’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
“සංඥාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යයද, එය දුක හෝ වෙයිද? සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිකොට නොගෙන ‘සත්වතෙමේ මරණින් මතු වන්නේය’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” -“ස්වාමීනි, එසේ නොවන්නේමය.”
“සංස්කාරයෝ නිත්‍ය හෝ වේද? අනිත්‍ය හෝ වේද?” -“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද එය දුක හෝ සැප හෝ වෙයිද?” -“ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවද එය දැඩිකොට අල්වා නොගෙන ‘සත්වතෙමේ මරණින් මතු වන්නේය’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
“විඥාණය නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යයද එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.”
“යමක්වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිකොට අල්වා නොගෙන ‘සත්වතෙමේ මරණින් මතු වන්නේය’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එසේ නොවන්නේමය.”
[5] “ඇසින් දකිනලද, කණින් අසනලද, නාසය දිව කය යන තුනෙන් දැනගන්නා ලද සිතින් දන්නා ලද පැමිණෙන ලද සොයනලද විමසනලද යම් ඒ දෙයක්වේද, එයද නිත්‍යය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යනම් එය දුකද, සැපද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවද එය දැඩි වශයෙන් නොගෙන ‘සත්වතෙමේ මරණින් මතු වන්නේය’ යන මේ දෘෂ්ටි උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
[6] “මහණෙනි, යම්තැනක පටන් ආර්යශ්‍රාවකයාහට මේ කරුණු සයෙහි පැවති සැක දුරුවූයේ වෙයිද, ඔහුට දුක පිළිබඳවද සැකදුරුවූයේ වෙයි, දුක්ඛ සමුදය පිළිබඳවද සැක දුරුවූයේ වෙයි දුක්ඛ නිරෝධයෙහිද සැක දුරුවූයේ වෙයි. දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාව පිළිබඳවද සැක දුරුවූයේ වෙයි.
“මහණෙනි, මේ ආර්යශ්‍රාවකතෙමේ සෝවාන් මගපලට පැමිණියෙකැයිද, සතර අපායෙහි නොවැටීම ස්වභාවකොට ඇත්තෙකැයිද, නියත ගති ඇත්තෙකැයිද අර්හත් ඵලය පිහිටකොට ඇත්තෙකැයිද කියනු ලැබේ.”
(පසළොස්වෙනි තථාගත සූත්‍රය (1) නිමි.)