සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
12. ලොකකාමගුණ වර්‍ගය
3. ලෝකකාමගුණ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක.‘ස්වාමීනියි’ කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
’’මහණෙනි, මම ගමනින් චක්‍රවාට ලෝකයාගේ කෙළවර දත හැකිය, දැක්ක හැකිය, පැමිණිය හැකියැයි නො කියමි. මහණෙනි, මම වනාහි සංස්කාර ලෝකයාගේද කෙළවරට නොපැමිණ දුක් කෙළවරකිරීම නොකියමියි, (වදාළේය.) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක.
ඉක්බිති ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ කල්හි මෙබඳු අදහසක් විය. ,ඇවැත්නි අපට භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් මේ උදෙසීම උදෙසා විස්තරයෙන් අර්‍ථය විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක. ‘මහණෙනි, මම ගමනින් චක්‍රවාළ ලෝකයාගේ කෙළවර දත හැකිය, දැක්ක හැකිය, පැමිණිය හැකියැයි නොකියමි. මහණෙනි, මම වනාහි සංස්කාර ලෝකයාගේද කෙළවරට නොපැමිණ දුක් කෙළවරකිරීම නොකියමි’ යනුයි භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තර වශයෙන් අර්ත්‍ථය විභාග නොකරන ලද මේ උද්දේසයාගේ අර්ත්‍ථය විස්තර වශයෙන් කවරෙක් වනාහි විභාග කරන්නේද, කියායි. ඉක්බිති ඒ භික්‍ෂූන්ට මෙබඳු අදහසක් විය.
‘ මේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ වනාහි ශාස්තෲන් වහන්සේ විසින්ද මනාකොට වර්‍ණනා කරන ලද්දේය. නුවණ ඇති සබ්‍රම් සරුන් විසින් ද, ගරු කරන ලද්දේය. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තර වශයෙන් අර්ත්‍ථ විභාග නොකරන ලද මේ උද්දේසයාගේ අර්ත්‍ථ විස්තර වශයෙන් විභාග කරන්නට සමර්ත්‍ථ වේ. අපි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට යන්නෙමු නම්, ගොස් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේගෙන් මේ කරුණ අසන්නෙමු නම් ඉතා යෙහෙකැයි’ කියායි.
ඉක්බිති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ යම් තැනෙක්හිද එතැනට ගියාහුය. ගොස් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වූවාහුය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එක් පසෙක හුන්නාහුය. එක් පසෙක හුන්නා වු ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට මෙය සැළ කළාහුය. , ඇවැත් ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, අපට භාග්‍යවතුන් වහන්සේ මේ උද්දේසය සැකෙවින් උදෙසා විස්තරයෙන් අර්ත්‍ථ විභාග නොකොට හුනස්නෙන් නැඟිට විහාරයට වැඩිසේක.
‘මහණෙනි, මම ගමනින් චක්‍රවාළ ලෝකයාගේ කෙළවර දත හැකිය, දැක්ක හැකිය, පැමිණිය හැකියැයි නොකියමි. මහණෙනි, මම වනාහි සංස්කාර ලෝකයාගේ කෙළවරට නොපැමිණ දුක් කෙළවර කිරීම නොකියමි’ යනුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තරයෙන් අර්ත්‍ථය විභාග නොකරන ලද මේ උද්දේසයාගේ අර්ත්‍ථය විස්තර වශයෙන් කවරෙක් වනාහි විභාග කරන්නේද, කියායි. ඇවැත්නි, ඒ මේ අපට මෙබඳු අදහසක් විය.
‘ මේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ වනාහි ශාස්තෲන් වහන්සේ විසින්ද මනාව වර්‍ණනා කරණ ලද්දේය. නුවණ ඇති සබ්‍රම් සරුන් විසින් ද ගරු කරණ ලදී. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තරයෙන් අර්ත්‍ථ විභාග නොකරන ලද මේ උද්දේසයාගේ අර්ත්‍ථ විස්තර වශයෙන් විභාග කරන්නට සමර්ත්‍ථ වේ. අපි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ යම් තැනෙක්හිද, එතැනට යන්නෙමු නම්, ගොස් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේගෙන් මේ කරුණ අසන්නෙමු නම් යෙහෙක’ කියායි. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ එය විභාග කරණ සේක්වායි, කීහ.
’’ඇවැත්නි, යම්සේ හරයෙන් ප්‍රයෝජන ඇත්තාවූ, හරය සොයන්නාවූ පුරුෂයෙක් තෙම හර සොයමින් හැසිරෙන්නේ හරය පිහිටියා වූ හරය ඇත්තා වූ මහත් වෘක්‍ෂයක්හුගේ මුල ද, කඳද ඉක්මවා අතුරිකිලි වල හරය සෙවිය යුතුයයි හඟින්නේද, ආයුෂ්මත්හු ශාස්තෲන් වහන්සේ සම්මුඛ වූ කල්හි ඒ භාග්‍යවතුන් වහන්සේ ඉක්මවා අපගෙන් මේ කාරණය ඇසිය යුතුයයි හඟින්නාහුය. එයද ඒ හා සමානය.
’’ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි දතයුත්තම දනියි, දැකියයුත්ත දකියි, ඇසක් වැනිවූ නුවණක්ම වූ ධර්‍මයක් ම වූ ශ්‍රේෂ්ඨ වූ ධර්‍මය කියන්නාවූ පවත්වන්නාවූ අර්ත්‍ථය නිකුත්කොට දක්වන්නාවූ, අමෘතය දෙන්නාවූ, ධර්‍ම ස්වාමී වූ තථාගතයන් වහන්සේය. යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේගෙන්ම මේ කාරණය අසන්නාහුද, යම්සේ තොපට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේද, එසේ එය දරන්නහුද, මෙයට ඒ කාලයද වූයේයයි, කීය.
’’ඇවැත්නි, ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ දතයුත්ත දනියි. දැක්කයුත්ත දකියි. ඇසක් මෙන්වූ නුවණක්ම වූ ධර්‍මයක් ම වූ ශ්‍රේෂ්ඨ වූ, ධර්‍මය දේශනා කරන්නාවූ ධර්‍මය පවත්වන්නාවූ අර්ත්‍ථය නිකුත්කොට දක්වන්නාවූ, අමෘතය දෙන්නාවූ, ධර්‍ම ස්වාමී වූ තථාගතයන් වහන්සේය, යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේගෙන්ම මේ කාරණය අසන්නෙමුද, යම්සේ අපට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේද, එසේ එය දරන්නෙමුද, මෙයට ඒ සුදුසු කාලයද වූයේය. එතකුදුවුවත්, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම ශාස්තෲන් වහන්සේ විසින්ද මනාව වර්‍ණනා කරණ ලද්දේය, නුවණැති සබ්‍රම්වරුන් විසින් ද ගරු කරණ ලද්දේය, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තරයෙන් අර්ත්‍ථ විභාග නොකරණ ලද මේ උද්දේසයාගේ අර්ත්‍ථ විස්තරයෙන් විභාග කරන්නට සමර්ත්‍ථ වේ. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ බරකොට නොසිතා ලිහිල්කොට විස්තර කරනු මැනවැයි, කීහ.
’’ඇවැත්නි, එසේ වී නම් අසව්, යහපත් කොට මෙනෙහි කරව්, කියන්නෙමි,, - , ඇවැත්නි, එසේය, කියා ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට පිළිතුරු දුන්හ. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ මෙය ප්‍රකාශ කෙළේය.
’’ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි, මම ගමනින් චක්‍රවාළ ලෝකයාගේ කෙළවර දත හැකිය, දැක්ක හැකිය, පැමිණිය හැකියැයි නොකියමි. මහණෙනි, මම වනාහි සංස්කාර ලෝකයාගේ කෙළවරට නොපැමිණ දුක් කෙළවර කිරීම නොකියමි’ යන යම් උද්දේසයක් සැකෙවින් උදෙසා විස්තරයෙන් අර්ත්‍ථ විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක්ද, ඇවැත්නි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තරයෙන් අර්ත්‍ථ විභාග නොකරණ ලද මේ උද්දේසයාගේ අර්ත්‍ථය මෙසේ විස්තරයෙන් දනිමි.
’’ඇවැත්නි, යමක් නිසා ලෝකයෙහි ලෝකයයි හඟින්නේ වෙයිද, ලෝකයයි සිතන්නේ වේද, මෙය ආර්‍ය්‍ය විනයෙහි ලෝකයයි කියනු ලැබේ. ඇවැත්නි, කුමක් නිසා ලෝකයෙහි ලෝකයයි හඟින්නේ වෙයිද, ලෝකයයි සිතන්නේ වේද?
’’ඇවැත්නි, ඇස නිසා ලෝකයෙහි ලෝකයයි හඟින්නේ වෙයි. ලෝකයයි සිතන්නේ වෙයි. ඇවැත්නි, කණ නිසා ලෝකයෙහි ලෝකයයි හඟින්නේ වෙයි. ලෝකයයි සිතන්නේ වෙයි. ඇවැත්නි, නාසය නිසා ලෝකයෙහි ලෝකයයි හඟින්නේ වෙයි. ලෝකයයි සිතන්නේ වෙයි. දිව නිසා ලෝකයෙහි ලෝකයයි හඟින්නේ වෙයි. ලෝකයයි සිතන්නේ වෙයි. ඇවැත්නි, කය නිසා ලෝකයෙහි ලෝකයයි හඟින්නේ වෙයි. ලෝකයයි සිතන්නේ වෙයි. ඇවැත්නි, සිත නිසා ලෝකයෙහි ලෝකයයි හඟින්නේ වෙයි. ලෝකයයි සිතන්නේ වෙයි. මෙය ආර්‍ය්‍ය විනයෙහි ලෝකයයි කියනු ලැබේ.
‘ ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ තොපට සැකෙවින් යම් උදෙසීමක් උදෙසා විස්තරයෙන් අර්ත්‍ථය විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට පිවිසි සේක්ද, ‘මහණෙනි, මම ගමනින් ලෝකයාගේ කෙළවර දත හැකිය, දැක්ක හැකිය, පැමිණිය හැකියැයි නොකියමි. මහණෙනි, මම වනාහි ලෝකයාගේ කෙළවරට නොපැමිණ දුක් කෙළවර කිරීම නොකියමි’ යි ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තරයෙන් අර්ත්‍ථ විභාග නොකරණ ලද මේ උද්දේසයාගේ අර්ත්‍ථය මෙසේ විස්තරයෙන් දනිමි. ආයුෂ්මත්නි, කැමැති වන්නාහු නම් තෙපි භාග්‍යවතුන් වහන්සේ කරාම එළඹ මේ කාරණය විචාරව්. යම්සේ තොපට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරද්ද එසේ එය දරා ගනිව් යයි, කීය.
’’ඇවැත්නි, එසේයයි, ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට පිළිතුරු දී හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක උන්නාවූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළාහුය.
’’ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අපට යම් උද්දේසයක් වනාහි සැකෙවින් උදෙසා විස්තරයෙන් අර්ත්‍ථ විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක්ද, ‘මහණෙනි, මම ගමනින් ලෝකයාගේ කෙළවර දත හැකිය, දැක්ක හැකිය, පැමිණිය හැකියැයි නොකියමි. මහණෙනි, මම වනාහි ලෝකයාගේ කෙළවරට නොපැමිණ දුක් කෙළවර කිරීම නොකියමි’ යනුයි. ස්වාමීනි, ඒ මේ අපට භාග්‍යවතුන් වහන්සේ වැඩය නොබෝ කල්හි මෙබඳු අදහසක් විය.
’’ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට මේ උද්දේසය සැකෙවින් උදෙසා විස්තරයෙන් අර්ත්‍ථ විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක. ‘මහණෙනි, මම ගමනින් ලෝකයාගේ කෙළවර දත හැකිය, දැක්ක හැකිය, පැමිණිය හැකියැයි නොකියමි. මහණෙනි, මම වනාහි ලෝකයාගේ කෙළවරට නොපැමිණ දුක් කෙළවර කිරීම නොකියමි’ යනුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තරයෙන් අර්ත්‍ථ විභාග නොකරන ලද මේ උද්දේසයාගේ අර්ත්‍ථය විස්තරයෙන් කවරෙක් වනාහි විභාග කරන්නේද’ කියායි.
’’ස්වාමීනි, ඒ මේ අපට මෙබඳු අදහසක් විය. ‘ මේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ වනාහි ශාස්තෲන් වහන්සේ විසින්ද මනාකොට වර්‍ණනා කරණ ලදී. නුවණැති සබ්‍රම් සරුන් විසින් ද ගරු කරණ ලද්දේය. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තර වශයෙන් අර්ත්‍ථ විභාග නොකරන ලද මේ උද්දේසයාගේ අර්ත්‍ථ විස්තර වශයෙන් අර්ත්‍ථ විස්තරයෙන් විභාග කරන්නට සමර්ත්‍ථ වේ ’ යනුයි.
‘ අපි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ යම් තැනෙක්හිද, එතැනට යන්නෙමු නම්, ගොස් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේගෙන් මේ කරුණ අසන්නෙමු නම් යෙහෙක’ කියායි.
’’ස්වාමීනි, ඉක්බිත්තෙන් අපි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට ගියෙමු. ගොස් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේගෙන් මේ කරුණ ඇසුවෙමු. ස්වාමීනි, ඒ අපට මෙය ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් විසින් මේ ආකාරයන්ගෙන් මේ පදයන්ගෙන් ව්‍යඤ්ජනයන්ගෙන් අර්ථය විභාග කරණ ලද්දේයයි, කීහ.
’’මහණෙනි. ආනන්‍ද තෙමේ පණ්ඩිත වේ. මහණෙනි. ආනන්‍ද තෙමේ මහත් ප්‍රඥා ඇත්තේ වේ. මහණෙනි, තෙපි ඉදින් මාගෙන්ද මේ කරුණ අසන්නහු නම් ආනන්‍ද විසින් යම්සේ එය ප්‍රකාශ කරණ ලද්දේද, මමද එසේම ප්‍රකාශ කරන්නෙමි. ඒ දේශනාවේ අර්ථය එයම වේ. එසේම දරා ගනිව් යයි, (වදාළ සේක.)