සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

12. ලොකකාමගුණ වර්‍ගය

4. ලෝකකාමගුණ සූත්‍රය

’’මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක.‘ස්වාමීනියි’ කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

’’මහණෙනි, සම්බොධියෙන් පූර්‍වයෙහිම සම්‍යක් සම්බුද්‍ධ නොවූ බොධිසත්ත්‍ව වූම මට මෙබඳු අදහසක් විය. ‘ මාගේ සිතින් විඳින ලදුව යම් ඒ පඤ්චකාම ගුණ කෙනෙක් ඉකුත් වුවාහුද, නිරුද්‍ධවුවාහුද, වෙනස් වුවාහුද ඒ අතීත පඤචකාම ගුණයන්හි හෝ වර්‍තමාන පඤ්චකාම ගුණයන්හි හෝ මාගේ සිත බහුල වශයෙන් ගමන් කරන්නේය. අනාගත පඤ්චකාම ගුණයන්හි හෝ සවල්ප වශයෙන් ගමන් කරන්නේය. මහණෙනි, ඒ මට මෙබඳු අදහසක් විය. මාගේ සිතින් පෙර අනුභව කළාවු ඉකුත් වු නිරුද්‍ධ වු වෙනස් වු යම් පඤ්චකාම ගුණ කෙනෙක් වෙත්ද, තමහට වැඩ කැමැත්තාවු මා විසින් පඤ්චකාමයට සිත නොයැවීමත් සිහියත් චිතතයාගේ ආරක්‍ෂාව කටයුත්තේය’ කියායි. මහනෙනි, එහෙයින් මෙහි තොපගේද සිතින් පෙර අනුභව කරන ලද්දාවු ඉකුත් වු නිරුද්‍ධ වු වෙනස් වු පඤ්චකාම ගුණයෝ වෙත්ද, ඒ අතීත පඤ්චකාමයන්හි හෝ වර්‍තමාන පඤ්චකාම ගුණයන්හි හෝ තොපගේ සිත බහුල වශයෙන් ගමන් කරන්නේය. අනාගත පඤ්චකාම ගුණයන්හි හෝ ස්වල්ප වශයෙන් ගමන් කරන්නේය.

’’මහණෙනි, එහෙයින් මෙහි තොපගේද සිතින් අනුභව කරන ලද්දා වු ඉකුත් වු, නිරුද්‍ධ වු, වෙනස් වු පඤචකාම ගුණයෝ වෙත්ද එහි තමහට වැඩ කැමැත්තාවු තොප විසින් අප්‍රමාදයත් සිහියත් ආරක්‍ෂාව කළ යුත්තේය.

’’මහණෙනි, එහෙයින් (නිර්‍වාණයෙහි) යම් තැනෙක්හි ඇසත් නිරුද්‍ධ වේද, රූප සංඥාවත් දුරුවේද ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි (නිර්‍වාණයෙහි) කණත් නිරුද්‍ධ වේද, ශබ්ද සංඥාවත් දුරුවේද, ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි නාසයත් නිරුද්‍ධ වේද, ගන්‍ධ සංඥාවත් දුරුවේද ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි දිවත් නිරුද්‍ධ වේද, රස සංඥාවත් වලකීද ඒ කරුණු දත යුතුයි. යම් කරුණෙක්හි කයත් නිරුද්‍ධ වේද, ස්පර්‍ශ සංඥාවත් වලකීද ඒ කරුණු දත යුතුයි. යම් කරුණෙක්හි සිතත් නිරුද්‍ධ වේද, ධර්‍ම සංඥාවත් වලකීද, ඒ කරුණු දත යුතුයයි - මෙය වදාරා භාග්‍යවතුන් වහන්සේ හුනස්නෙන් නැගිට විහාරයට ඇතුල් වූ සේක.

ඉක්බිති ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ වැඩිය නොබෝ කල්හි මෙබඳු අදහසක් විය. ‘ ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට මේ උද්දේසය සැකෙවින් උදෙසා විස්තරයෙන් අර්ත්‍ථය විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක.

‘ යම් තැනෙක්හි ඇසත් නිරුද්‍ධ වේද, රූප සංඥාවත් දුරුවේද ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි කණත් නිරුද්‍ධ වේද, ශබ්ද සංඥාවත් දුරුවේද, ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි නාසයත් නිරුද්‍ධ වේද, ගන්‍ධ සංඥාවත් දුරුවේද ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි දිවත් නිරුද්‍ධ වේද, රස සංඥාවත් දුරුවේද ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි කයත් නිරුද්‍ධ වේද, ස්පර්‍ශ සංඥාවත් දුරුවේද ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි සිතත් නිරුද්‍ධ වේද, ධර්‍ම සංඥාවත් දුරුවේද, ඒ ආයතනය දත යුතුය යනුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද්දාවූ විස්තරයෙන් අර්ත්‍ථ විභාග නොකරන ලද්දාවූ මේ උද්දේසයාගේ අර්ත්‍ථය කවරෙක් වනාහි විස්තර වශයෙන් විභාග කරන්නේද?’ කියායි.

ඉක්බිති ඒ භික්‍ෂූන්ටට මෙබඳු අදහසක් විය. ‘ මේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ වනාහි ශාස්තෲන් වහන්සේ විසින්ද මනාව වර්‍ණනා කරණ ලද්දේය. නුවණැති සබ්‍රම් සරුන් විසින් ද ගරු කරණ ලද්දේය. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තර වශයෙන් අර්ත්‍ථ විභාග නොකරන ලද මේ උද්දේසයාගේ අර්ත්‍ථ විස්තර වශයෙන් විභාග කරන්නට සමර්ත්‍ථ වේ අප ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ යම් තැනෙක්හිද, එතැනට යන්නෙමු නම්, ගොස් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේගෙන් මේ කරුණ අසන්නෙමු නම් යෙහෙක’ කියායි.

ඉක්බිති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම යම් තැනෙක්හිද එතැනට ගියාහුය. ගොස් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වූවාහුය. සතුටු විය යුතු සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක්පසෙක හුන්නාහුය. එක් පසෙක හුන්නා වූ ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට මෙය කීවාහුය. , ඇවැත් ආනන්‍ද ස්ථවිරයෙනි, භාග්‍යවතුන් වහන්සේ අපට මේ උදෙසීම සැකෙවින් උදෙසා විස්තර වශයෙන් අර්ත්‍ථ විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට වැඩිසේක.

‘ යම් තැනෙක්හි ඇසත් නිරුද්‍ධ වේද, රූප සංඥාවත් දුරුවේද ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි කණත් නිරුද්‍ධ වේද, ශබ්ද සංඥාවත් දුරුවේද, ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි නාසයත් නිරුද්‍ධ වේද, ගන්‍ධ සංඥාවත් දුරුවේද ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි දිවත් නිරුද්‍ධ වේද, රස සංඥාවත් වලකීද ඒ කරුණු දත යුතුයි. යම් තැනෙක්හි කයත් නිරුද්‍ධ වේද, ස්පර්‍ශ සංඥාවත් වලකීද ඒ කරුණු දත යුතුයි. යම් තැනෙක්හි සිතත් නිරුද්‍ධ වේද, ධර්‍ම සංඥාවත් දුරුවේද, ඒ ආයතනය දත යුතුය’ යනුයි.,

’’ඇවැත්නි, ඒ මේ අපට භාග්‍යවතුන් වහන්සේ වැඩිය නොබෝ කල්හි මෙබඳු අදහසක් විය. ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට මේ උද්දේසය සැකෙවින් උදෙසා විස්තර වශයෙන් අර්ත්‍ථ විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක.’

‘ යම් තැනෙක්හි ඇසත් නිරුද්‍ධ වේද, රූප සංඥාවත් දුරුවේද ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි කණත් නිරුද්‍ධ වේද, ශබ්ද සංඥාවත් දුරුවේද, ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි නාසයත් නිරුද්‍ධ වේද, ගන්‍ධ සංඥාවත් දුරුවේද ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි දිවත් නිරුද්‍ධ වේද, රස සංඥාවත් වලකීද ඒ කරුණු දත යුතුයි. යම් තැනෙක්හි කයත් නිරුද්‍ධ වේද, ස්පර්‍ශ සංඥාවත් වලකීද ඒ කරුණු දත යුතුයි. යම් තැනෙක්හි සිතත් නිරුද්‍ධ වේද, ධර්‍ම සංඥාවත් දුරුවේද, ඒ ආයතනය දත යුතුය’ යනුයි.,

‘ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තර වශයෙන් අර්ත්‍ථ ප්‍රකාශ නොකරන ලද මේ උද්දේසයාගේ අර්ත්‍ථ විස්තර වශයෙන් කවරෙක් විභාග කරන්නේද?’ කියායි. ඇවැත්නි ඒ මේ අපට මෙබඳු අදහසක් විය. ‘ මේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ වනාහි ශාස්තෲන් වහන්සේ විසින්ද මනාව වර්‍ණනා කරණ ලදී. නුවණැති සබ්‍රම් සරුන් විසින් ද, ගරු කරණ ලද්දේය. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විසතරයෙන් අර්ත්‍ථ විභාග නොකරන ලද මේ උද්දේසයාගේ අර්ත්‍ථ විසතරයෙන් විභාග කරන්නට සමර්ත්‍ථ වේ. අපි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ යම් තැනෙක්හිද එතැනට යන්නෙමු නම්, ගොස් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ගෙන් මේ කරුණ අසන්නෙමු නම්, යෙහෙක’ යනුයි. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ මෙය විභාග කරණු මැනවයි, කීහ.

’’ඇවැත්නි, යම්සේ හරයෙන් ප්‍රයෝජන ඇත්තාවූ, හර සොයන්නාවූ පුරුෂයෙක් හර සොයමින් හැසිරෙන්නේ හරය පිහිටියා වූ හර ඇත්තා වූ මහත් වෘක්‍ෂයක්හුගේ මුල ද ඉක්මවා කඳද ඉක්මවා අතුරිකිලි වල හරය සෙවිය යුතුයයි හඟින්නේද, ආයුෂ්මත්හු ශාස්තෲන් වහන්සේ හමු වූ කල්හි ඒ භාග්‍යවතුන් වහන්සේ ඉක්මවා අපගෙන් මේ කරුණ ඇසිය යුතුයයි හඟින්නාහුය. එය ඒ හා සමානය. ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි දතයුත්ත දනියි, දැක්ක යුත්ත දකියි. ඇසක් වැනිවූ ඤාණයක්ම වූ ධර්‍මයක්මවූ ශ්‍රේෂ්ඨ වූ ධර්‍මය කියන්නාවූ ධර්‍මය පවත්වන්නාවූ අර්ත්‍ථය නිකුත් කරන්නාවූ, අමෘතය දෙන්නාවූ, ධර්‍මස්වාමී වූ තථාගතයන් වහන්සේය. යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේගෙන්ම මේ කරුණ අසන්නාහුද, යම්සේ තොපට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනසේක්ද, එසේ එය දරන්නහුද, මෙයට ඒ සුදුසු කාලය වූයේයයි,, කීය.

’’ඇවැත්නි ආනන්‍ද ස්ථවිරය, ඒකාන්තයෙන් භාග්‍යවත් තෙමේ දතයුත්ත දනියි. දැක්ක යුත්ත දකියි. ඇසක් වැනිවූ නුවණක්ම වූ ධර්‍මයක්ම වූ ශ්‍රේෂ්ඨ වූ ධර්‍මය කියන්නා වූ ධර්‍මය පවත්වන්නාවූ අර්ත්‍ථය නිකුත්කරන්නාවූ, අමෘතය දෙන්නාවූ, ධර්‍ම ස්වාමී වූ තථාගතයන් වහන්සේය. යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේගෙන්ම මේ කරුණ අසන්නෙමුද, යම්සේ අපට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනසේක්ද, එසේ එය දරන්නෙමුද, මෙයට ඒ සුදුසු කාලයද වූයේය. එතකුදුවුවත්, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ ශාස්තෲන් වහන්සේ විසින්ද වර්‍ණනා කරණ ලදී. නුවණැති සබ්‍රම්වරුන් විසින් ද ගරු කරණ ලද්දේය. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තරයෙන් අර්ත්‍ථ විභාග නොකරණ ලද මේ උද්දේසයාගේ අර්ත්‍ථ විස්තරයෙන් විභාග කරන්ට සමර්ත්‍ථ වේ.

ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ මෙය ප්‍රකාශ කෙළේය. , ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ තොබට යම් උද්දේසයක් වනාහි සැකෙවින් උදෙසා විස්තර වශයෙන් අර්ත්‍ථ විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක්ද,

‘ මහණෙනි, එහෙයින් මෙහි ‘යම් තැනෙක්හි ඇසත් නිරුද්‍ධ වේද, රූප සංඥාවත් දුරුවේද ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි කණත් නිරුද්‍ධ වේද, ශබ්ද සංඥාවත් දුරුවේද, ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි නාසයත් නිරුද්‍ධ වේද, ගන්‍ධ සංඥාවත් දුරුවේද, ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි දිවත් නිරුද්‍ධ වේද, රස සංඥාවත් වලකීද ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි කයත් නිරුද්‍ධ වේද, ස්පර්‍ශ සංඥාවත් දුරුවේද ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි සිතත් නිරුද්‍ධ වේද, ධර්‍ම සංඥාවත් දුරුවේද, ඒ ආයතනය දත යුතුය’ යනුයි.

’’ඇවැත්නි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තර වශයෙන් අර්ත්‍ථ විභාග නොකරණ ලද මේ උද්දේසයාගේ අර්ත්‍ථය විස්තර වශයෙන් මෙසේ දනිමි. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින්, ‘ යම් තැනෙක්හි ඇසත් නිරුද්‍ධ වේද, රූප සංඥාවත් දුරුවේද ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි කණත් නිරුද්‍ධ වේද, ශබ්ද සංඥාවත් දුරුවේද, ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි නාසයත් නිරුද්‍ධ වේද, ගන්‍ධ සංඥාවත් දුරුවේද, ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි දිවත් නිරුද්‍ධ වේද, රස සංඥාවත් වලකීද ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි කයත් නිරුද්‍ධ වේද, ස්පර්‍ශ සංඥාවත් වලකීද ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි සිතත් නිරුද්‍ධ වේද, ධර්‍ම සංඥාවත් දුරුවේද, ඒ ආයතනය දත යුතුය’ යන මෙය ෂඩායතන නිරෝධය (නිවණ) සඳහා වදාරණ ලදී.

’’මහණෙනි, එහෙයින් මෙහි ‘ යම් තැනෙක්හි ඇසත් නිරුද්‍ධ වේද, රූප සංඥාවත් දුරුවේද ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි කණත් නිරුද්‍ධ වේද, ශබ්ද සංඥාවත් දුරුවේද, ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි නාසයත් නිරුද්‍ධ වේද, ගන්‍ධ සංඥාවත් දුරුවේද, ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි දිවත් නිරුද්‍ධ වේද, රස සංඥාවත් වලකීද ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි කයත් නිරුද්‍ධ වේද, ස්පර්‍ශ සංඥාවත් වලකීද ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි සිතත් නිරුද්‍ධ වේද, ධර්‍ම සංඥාවත් දුරුවේද, ඒ ආයතනය දත යුතුය’ යන යම් උද්දේසයක් වනාහි සැකෙවින් උදෙසා විස්තරයෙන් අර්ත්‍ථ විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක්ද, ඇවැත්නි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තර වශයෙන් අර්ත්‍ථ විභාග නොකරණ ලද මේ උද්දේසයාගේ අර්ත්‍ථය මෙසේ විස්තර වශයෙන් දනිමි. ආයුෂ්මත්නි කැමැති වන්නා වූ තෙපි භාග්‍යවතුන් වහන්සේ කරාම පැමිණෙව්. පැමිණ මේ කරුණ අසව්. යම්සේ තොපට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරන සේක්ද එසේ එය දරාගනිව් යයි, කීය.

’’ඇවැත්නි, එසේයයි, ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට ප්‍රතිවචන දී හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නාහුය. එක් පසෙක හුන්නා වූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළාහුය. , ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අපට ‘ මහණෙනි, යම් තැනෙක්හි ඇසත් නිරුද්‍ධ වේද, රූප සංඥාවත් දුරුවේද ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි කණත් නිරුද්‍ධ වේද, ශබ්ද සංඥාවත් දුරුවේද, ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි නාසයත් නිරුද්‍ධ වේද, ගන්‍ධ සංඥාවත් දුරුවේද, ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි දිවත් නිරුද්‍ධ වේද, රස සංඥාවත් වලකීද ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි කයත් නිරුද්‍ධ වේද, ස්පර්‍ශ සංඥාවත් දුරුවේද ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි සිතත් නිරුද්‍ධ වේද, ධර්‍ම සංඥාවත් දුරුවේද, ඒ ආයතනය දත යුතුය’ යන යම් උද්දේසයක් සැකෙවින් උදෙසා විස්තරයෙන් අර්ත්‍ථ විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක්ද,

’’ස්වාමීනි, ඒ මේ අපට භාග්‍යවතුන් වහන්සේ වැඩිය නොබෝ කල්හි මෙබඳු අදහසක් විය. ‘ ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේ අපට

‘ මහණෙනි, එහෙයින් මෙහි ‘ යම් තැනෙක්හි ඇසත් නිරුද්‍ධ වේද, රූප සංඥාවත් දුරුවේද ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි කණත් නිරුද්‍ධ වේද, ශබ්ද සංඥාවත් දුරුවේද, ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි නාසයත් නිරුද්‍ධ වේද, ගන්‍ධ සංඥාවත් දුරුවේද, ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි දිවත් නිරුද්‍ධ වේද, රස සංඥාවත් වලකීද ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි කයත් නිරුද්‍ධ වේද, ස්පර්‍ශ සංඥාවත් දුරුවේද ඒ ආයතනය දත යුතුයි. යම් තැනෙක්හි සිතත් නිරුද්‍ධ වේද, ධර්‍ම සංඥාවත් දුරුවේද, ඒ ආයතනය දත යුතුය’ යන යම් උද්දේසයක් සැකෙවින් උදෙසා විස්තරයෙන් අර්ත්‍ථ විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක.

’’ස්වාමීනි, එවිට අපට මෙබඳු අදහසක් විය. මේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ වනාහි ශාස්තෲන් වහන්සේ විසින්ද මනාකොට වර්‍ණනා කරණ ලදී. නුවණැති සබ්‍රම්සරුන් විසින්ද ගරු කරණ ලදී. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද්දාවූ විස්තර වශයෙන් අර්ත්‍ථ විභාග නොකරණ ලද්දාවූ මේ උද්දේසයාගේ අර්ත්‍ථ විස්තරයෙන් විභාග කරන්ට සමර්ත්‍ථ වේ. අපි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ යම් තැනෙක්හිද, එතැනට යන්නෙමු නම්, ගොස් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ගෙන් මේ කරුණු අසන්නෙමු නම්, යෙහෙක’ කියායි.

‘ ස්වාමීනි, ඉක්බිති අපි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට ගියෙමු, ගොස් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ගෙන් මේ කරුණ ඇසීමු. ස්වාමීනි, ඒ අපට ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් විසින් මේ ආකාරයන්ගෙන් මේ පදයන්ගෙන් ව්‍යඤජනයන්ගෙන් අර්ත්‍ථය විභාග කරණ ලද්දේයයි, කීහ.

’’මහණෙනි, ආනන්‍ද තෙමේ පණ්ඩිත වේ. මහණෙනි, ආනන්‍ද තෙමේ මහත් ප්‍රඥා ඇත්තේ වේ. මහණෙනි, ඉදින් තෙපි මාගෙන්ද මේ කාරණය අසන්නාහු නම් මමද ආනන්‍ද විසින් එය යම්සේ ප්‍රකාශ කෙළේද, මෙපරිද්දෙන්ම ප්‍රකාශ කරන්නෙමි. මෙහි අන්‍ර්‍ථය වනාහි මෙයම වේ. මෙසේම දරා ගනිව් යයි,, (වදාළසේක.)