සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

2. යමක වර්‍ගය

2. සම්බෝධ සුත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටානන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ’’ස්වාමීනි’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, සම්බෝධියෙන් පෙරම සම්‍යක් සම්බුද්‍ධ නොවූ, බොධිසත්ත්‍වවූම මට මෙබඳු අදහසක් විය. ’රූපයන්ගේ ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද? ශබ්දයන්ගේ ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද? ගන්‍ධයන්ගේ ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද? රසයන්ගේ ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද? ස්පර්‍ශයන්ගේ ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද? ධර්‍මයන්ගේ ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද කියායි.

’’මහණෙනි, ඒ මට මෙසේ අදහසක් විය. ’’රූපයන් නිසා යම් සැපක් සොම්නසක් උපදීද, මේ රූපයන්ගේ ආශ්වාදය වේ. යම් රූප කෙනෙක් අනිත්‍ය වෙත්ද, දුක් වෙත්ද, වෙනස්වන ස්වභාව ඇත්තාහුද, මේ රූපයන්ගේ ආදීනවය වේ. රූපයන් කෙරෙහි යම් ඡන්‍දරාගය දුරුකිරීමක්, ඡන්‍දරාගය පහකිරීමක් වේද, මේ රූපයන්ගේ නිස්සරණය වේ.’’

’’ශබ්දයන් නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ ශබ්දයන්ගේ ආශ්වාදය වේ. යම් ශබ්ද කෙනෙක් අනිත්‍ය වෙත්ද, දුක් වෙත්ද, වෙනස්වන ස්වභාව ඇත්තාහුද, මේ ශබ්දයන්ගේ ආදීනවය වේ. ශබ්දයන් කෙරෙහි යම් ඡන්‍දරාගය දුරුකිරීමක්, ඡන්‍දරාගය පහකිරීමක් වේද, මේ ශබ්දයන්ගේ නිස්සරණය වේ.’’

’’ගන්‍ධයන් නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ ගන්‍ධයන්ගේ ආශ්වාදය වේ. යම් ගන්‍ධ කෙනෙක් අනිත්‍ය වෙත්ද, දුක් වෙත්ද, වෙනස්වන ස්වභාව ඇත්තාහුද, මේ ගන්‍ධයන්ගේ ආදීනවය වේ. ගන්‍ධයන් කෙරෙහි යම් ඡන්‍දරාගය දුරුකිරීමක්, ඡන්‍දරාගය පහකිරීමක් වේද, මේ ගන්‍ධයන්ගේ නිස්සරණය වේ.’’

’’රසයන් නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ රසයන්ගේ ආශ්වාදය වේ. යම් රස කෙනෙක් අනිත්‍ය වෙත්ද, දුක් වෙත්ද, වෙනස්වන ස්වභාව ඇත්තාහුද, මේ රසයන්ගේ ආදීනවය වේ. රසයන් කෙරෙහි යම් ඡන්‍දරාගය දුරුකිරීමක්, ඡන්‍දරාගය පහකිරීමක් වේද, මේ රසයන්ගේ නිස්සරණය වේ.’’

’’ස්පර්‍ශයන් නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ ස්පර්‍ශයන්ගේ ආශ්වාදය වේ. යම් ස්පර්‍ශ කෙනෙක් අනිත්‍ය වෙත්ද, දුක් වෙත්ද, වෙනස්වන ස්වභාව ඇත්තාහුද, මේ ස්පර්‍ශයන්ගේ ආදීනවය වේ. ස්පර්‍ශයන් කෙරෙහි යම් ඡන්‍දරාගය දුරුකිරීමක්, ඡන්‍දරාගය පහකිරීමක් වේද, මේ ස්පර්‍ශයන්ගේ නිස්සරණය වේ.’’

’’ධර්‍මයන් නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ ධර්‍මයන්ගේ ආශ්වාදය වේ. යම් ධර්‍ම කෙනෙක් අනිත්‍ය වෙත්ද, දුක් වෙත්ද, වෙනස්වන ස්වභාව ඇත්තාහුද, මේ ධර්‍මයන්ගේ ආදීනවය වේ. ධර්‍මයන් කෙරෙහි යම් ඡන්‍දරාගය දුරුකිරීමක්, ඡන්‍දරාගය පහකිරීමක් වේද, මේ ධර්‍මයන්ගේ නිස්සරණය වේ.’’

’’මහණෙනි, මම යම්තාක් මේ සවැදෑරුම්වූ, බාහිර ආයතනයන්ගේ මෙසේ ආශ්වාදය ආශ්වාද වශයෙන්ද, ආදීනවය ආදීනව වශයෙන්ද, නිස්සරණය නිස්සරණ වශයෙන්ද, තත්වූ පරිද්දෙන් මනාව දැන නොගත්තෙම්ද, මහණෙනි, ඒතාක්ම මම දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙහි මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්‍ව ප්‍රජාවෙහි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේ වෙමියි ප්‍රකාශ නොකෙළෙමි.

’’මහණෙනි, යම් කලක පටන් මම මේ සවැදෑරුම්වූ, අධ්‍යාත්මිකවූ, ආයතනයන්ගේ මෙසේ ආශ්වාදය ආශ්වාද වශයෙන්ද, ආදීනවය ආදීනව වශයෙන්ද, නිස්සරණය නිස්සරණ වශයෙන්ද, තත්වූ පරිද්දෙන් මනාකොට දැන ගත්තෙම්ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙහි මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්‍වප්‍රජාවෙහි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේ වෙමියි ප්‍රකාශ කෙළෙමි. මට වනාහි මාගේ අර්හත් ඵල සමාධිය විනාශ නොවන්නීය. මේ අන්තිම ජාතිය වේ. දැන් නැවත ඉපදීමක් නැත්තේය. ඥාන දර්‍ශනය පහළවිය.’’