සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

14. දෙවදහ වර්‍ගය

7. හේතු සූත්‍රය. (1)

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

’’මහණෙනි, ඇස අනිත්‍යය. ඇස ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනිත්‍යය. මහණෙනි, අනිත්‍ය හේතුයෙන් හටගත්තාවූ ඇස කොයින් නිත්‍ය වන්නේද?

’’මහණෙනි, කණ අනිත්‍යය. කණ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනිත්‍යය. මහණෙනි, අනිත්‍ය හේතුයෙන් හටගත්තාවූ කණ කොයින් නිත්‍ය වන්නේද?

’’මහණෙනි, නාසය අනිත්‍යය. නාසය ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනිත්‍යය. මහණෙනි, අනිත්‍ය හේතුයෙන් හටගත්තාවූ නාසය කොයින් නිත්‍ය වන්නේද? , මහණෙනි, දිව අනිත්‍යය. දිව ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනිත්‍යය. මහණෙනි, අනිත්‍ය හේතුයෙන් හටගත්තාවූ දිව කොයින් නිත්‍ය වන්නේද?

’’මහණෙනි, කය අනිත්‍යය කය ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනිත්‍යය. මහණෙනි, අනිත්‍ය හේතුයෙන් හටගත්තාවූ කය කොයින් නිත්‍ය වන්නේද?

’’මහණෙනි, සිත අනිත්‍යය සිත ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනිත්‍යය. මහණෙනි, අනිත්‍ය හේතුයෙන් හටගත්තාවූ සිත කොයින් නිත්‍ය වන්නේද?

’’මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කණ කෙරෙහිද, නාසය කෙරෙහිද, දිව කෙරෙහිද, කය කෙරෙහිද, සිත කෙරෙහිද, කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි.

මෙයින් අන්‍යවූ ආත්මභාවයක් නැතැයි දැනගණියි, වදාළේය.