සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
16. නන්‍දික්ඛය වර්‍ගය
4. නන්‍දික්ඛය සූත්‍රය (4)
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, රූපයන් නුවණින් මෙනෙහි කරව්. රූපයන්ගේ අනිත්‍ය බවද තත්වූ පරිද්දෙන් මනාකොට බලව්. මහණෙනි, භික්‍ෂුතෙම රූපයන් මෙනෙහි කරන්නේ රූපයන්ගේ අනිත්‍ය බවද, තත්වූ පරිද්දෙන් මනාකොට බලන්නේ රූපයන්හි කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ.
’’මහණෙනි, ශබ්දයන් නුවණින් මෙනෙහි කරව්. ශබ්දයන්ගේ අනිත්‍ය බවද තත්වූ පරිද්දෙන් මනාකොට බලව්. මහණෙනි, භික්‍ෂුතෙම ශබ්දයන් නුවණින් මෙනෙහි කරන්නේ ශබ්දයන්ගේ අනිත්‍ය බවද, තත්වූ පරිද්දෙන් මනාකොට බලන්නේ ශබ්දයන්හි කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ.
’’මහණෙනි, ගන්‍ධයන් නුවණින් මෙනෙහි කරව්. ගන්‍ධයන්ගේ අනිත්‍ය බවද තත්වූ පරිද්දෙන් මනාකොට බලව්. මහණෙනි, භික්‍ෂුතෙම ගන්‍ධයන් නුවණින් මෙනෙහි කරන්නේ ගන්‍ධයන්ගේ අනිත්‍ය බැව්ද, තත්වූ පරිද්දෙන් මනාකොට බලන්නේ ගන්‍ධයන්හි කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ.
’’මහණෙනි, රසයන් නුවණින් මෙනෙහි කරව්. රසයන්ගේ අනිත්‍ය බවද තත්වූ පරිද්දෙන් මනාකොට බලව්. මහණෙනි, භික්‍ෂුතෙම රසයන් නුවණින් මෙනෙහි කරන්නේ රසයන්ගේ අනිත්‍ය බැව්ද, තත්වූ පරිද්දෙන් මනාකොට බලන්නේ රසයන්හි කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ.
’’මහණෙනි, ස්පර්‍ශයන් නුවණින් මෙනෙහි කරව්. ස්පර්‍ශයන්ගේ අනිත්‍ය බවද තත්වූ පරිද්දෙන් මනාකොට බලව්. මහණෙනි, භික්‍ෂුතෙම ස්පර්‍ශයන් නුවණින් මෙනෙහි කරන්නේ ස්පර්‍ශයන්ගේ අනිත්‍ය බැව්ද, තත්වූ පරිද්දෙන් මනාකොට බලන්නේ ස්පර්‍ශයන්හි කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ.
’’මහණෙනි, ධර්‍මයන් නුවණින් මෙනෙහි කරව්. ධර්‍මයන්ගේ අනිත්‍ය බැව්ද තත්වූ පරිද්දෙන් මනාකොට බලව්. මහණෙනි, භික්‍ෂුතෙම ධර්‍මයන් නුවණින් මෙනෙහි කරන්නේ ධර්‍මයන්ගේ අනිත්‍ය බැව්ද තත්වූ පරිද්දෙන් මනාකොට බලන්නේ ධර්‍මයන්හි කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේයයි, (වදාළ සේක.)