සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

16. නන්‍දික්ඛය වර්‍ගය

7. කොට්ඨිත සූත්‍රය. (1)

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වසන සේක.

ඉක්බිති ආයුෂ්මත් මහා කොටඨිත නම් ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක උන්නේය. එක් පසෙක උන්නාවූ ආයුෂ්මත් මහා කොටඨිත ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය.

’’ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්‍මයක් අසා එකලාවූයේ, වෙන්වූ වාසය ඇත්තේ, අප්‍රමාදවූයේ, වීර්‍ය්‍ය ඇත්තේ, හරණලද ආත්මාලය ඇත්තේ වාසය කරන්නෙම්ද, භාග්‍යවතුන් වහන්සේ මට කොටින් (එබඳු) ධර්‍මයක් දේශනා කරණසේක් නම් මැනවැ යනුයි.,

’’කොට්ඨිතය, යමක් වනාහි අනිත්‍යද, එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. කොට්ඨිතය, කුමක් නම් අනිත්‍යද?

’’කෝටඨිතය, ඇස වනාහි අනිත්‍ය වේ. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. රූපයෝ අනිත්‍යයෝය. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. චක්ඛු විඤ්ඤාණය අනිත්‍යය. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. චක්ඛු සම්ඵස්සය අනිත්‍යවේ. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යය. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ.

’’කොට්ඨිතය, කණ වනාහි අනිත්‍ය වේ. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. ශබ්දයෝ අනිත්‍යයෝය. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. සෝත විඤ්ඤාණය අනිත්‍යය. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. සෝත සම්ඵස්සය අනිත්‍යවේ. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යය. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ.

’’කොට්ඨිතය, නාසය වනාහි අනිත්‍ය වේ. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. ගන්‍ධයෝ අනිත්‍යයෝය. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. ඝාණ විඤ්ඤාණය අනිත්‍යය. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. ඝාණ සම්ඵස්සය අනිත්‍යවේ. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යය. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ.

’’කොට්ඨිතය, දිව වනාහි අනිත්‍ය වේ. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. රසයෝ අනිත්‍යයෝය. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. ජිව්හා විඤ්ඤාණය අනිත්‍යය. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. ජිව්හා සම්ඵස්සය අනිත්‍යවේ. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යය. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ.

’’කොට්ඨිතය, කය වනාහි අනිත්‍ය වේ. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. ස්පර්‍ශයෝ අනිත්‍යයෝය. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. කාය විඤ්ඤාණය අනිත්‍යය. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. කාය සම්ඵස්සය අනිත්‍යවේ. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යය. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ.

’’කොට්ඨිතය, සිත වනාහි අනිත්‍ය වේ. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. ධර්‍මයෝ අනිත්‍යයෝය. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. මනෝ විඤ්ඤාණය අනිත්‍යය. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. මනෝ සම්ඵස්සය අනිත්‍යවේ. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යය. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. කොට්ඨිතය, යමක් වනාහි අනිත්‍යද, එහි තොපගේ ආශාව දුරුකටයුතු වේයයි (වදාළ සේක..)