සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

16. නන්‍දික්ඛය වර්‍ගය

8. කොට්ඨිත සූත්‍රය (2)

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වසන සේක. ඉක්බිති ආයුෂ්මත් මහා කොට්ඨිත නම් ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක උන්නේය.

එක් පසෙක උන්නාවූ ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. ,ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්‍මයක් අසා එකලාව වෙන්වූ වාසය ඇත්තේ, අප්‍රමාදවූයේ, වීර්‍ය්‍ය ඇත්තේ, හරණලද ආත්මාලය ඇත්තේ වාසය කරන්නෙම්ද, භාග්‍යවතුන් වහන්සේ මට සැකෙවින් (එබඳු) ධර්‍මයක් දේශනා කරණසේක් නම් මැනව, යනුයි.

’’කොට්ඨිතය, යමක් වනාහි දුකද, එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. කොට්ඨිතය, කුමක් නම් දුකද? කොටඨිතය, ඇස දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. රූපයෝ දුක්යහ. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. චක්ඛු විඤ්ඤාණය දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. චකඛු සම්ඵස්සය දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. චකඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය.

’’කොට්ඨිතය, කණ දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. ශබ්දයෝ දුක්යහ. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. සෝත විඤ්ඤාණය දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. සෝත සම්ඵස්සය දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය.

’’කොට්ඨිතය, නාසය දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. ගන්‍ධයෝ දුක්යහ. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. ඝාණ විඤ්ඤාණය දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. ඝාණ සම්ඵස්සය දුකය. එහි තොපගේ ආශාව දුරුකළටයුතුය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය.

’’කොට්ඨිතය, දිව දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. රසයෝ දුක්යහ. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. ජිව්හා විඤ්ඤාණය දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතය. ජිව්හා සම්ඵස්සය දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය.

’’කොට්ඨිතය, කය දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. ස්පර්‍ශයෝ දුක්යහ. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. කාය විඤ්ඤාණය දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. කාය සම්ඵස්සය දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය.

’’කොට්ඨිතය, සිත දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. ධර්‍මයෝ දුක්යහ. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. මනෝ විඤ්ඤාණය දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. මනෝ සම්ඵස්සය දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. කොට්ඨිතය, යමක් වනාහි දුක්ද, එහි තොපගේ ආශාව දුරුකටයුතුයයි, වදාළ සේක.