සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
18. සමුද්ද වර්‍ගය
1. සමුද්දය සූත්‍රය. (1)
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, සමුද්‍රය සමුද්‍රයයි අශ්‍රුතවත් පෘථග්ජන තෙම කියයි. මහණෙනි, මෙය ආර්‍ය්‍ය විනයෙහි සමුද්‍රය නොවේ. මහණෙනි මෙය මහත් දිය රාශියෙකි. මහත් ජලයකි.
’’මහණෙනි, ඇස පුරුෂයාට සමුද්‍රය වේ. එහි රූපයන්ගෙන් හටගත් රළ වේගය වේ. යමෙක් ඒ රූපයන්ගෙන් හටගත් රළවේගය (රාගාදී ක්ලේශයන්ගෙන් වෙන්ව) ඉවසාද, මහණෙනි, හෙතෙම කෙළෙස් නමැති රළවේග සහිතවූ කෙළෙස් දියසුළි සහිතවූ කෙළෙස් නමැති අල්වාගන්නා සතුන් ඇති කෙළෙස් රකුසන් සහිතවූ ඇස නමැති සමුද්‍රය තරණය කෙළේය. තරණය කළාවූ පරතෙරට ගියාවූ බ්‍රාහ්මණතෙම ගොඩබිම සිටීයයි කියනු ලැබේ.
’’මහණෙනි, කණ පුරුෂයාට සමුද්‍රය වේ. එහි ශබ්දයන්ගෙන් හටගත් රළ වේගය වේ. යමෙක් ඒ ශබ්දයන්ගෙන් හටගත් රළවේගය ඉවසාද, මහණෙනි, හෙතෙම කෙළෙස් නමැති රළවේග සහිතවූ කෙළෙස් දියසුළි සහිතවූ කෙළෙස් නමැති අල්වාගන්නා සතුන් ඇති කෙළෙස් රකුසන් සහිතවූ කණ නමැති සමුද්‍රය තරණය කෙළේය. තරණය කළාවූ පරතෙරට ගියාවූ බ්‍රාහ්මණතෙමේ ගොඩබිම සිටීයයි කියනු ලැබේ.
’’මහණෙනි, නාසය පුරුෂයාට සමුද්‍රය වේ. එහි ගන්‍ධයන්ගෙන් හටගත් රළ වේගය වේ. යමෙක් ඒ ගන්‍ධයන්ගෙන් හටගත් රළවේගය ඉවසාද, මහණෙනි, හෙතෙම කෙළෙස් නමැති රළවේග සහිතවූ කෙළෙස් දියසුළි සහිතවූ කෙළෙස් නමැති අල්වාගන්නා සතුන් ඇති කෙළෙස් රකුසන් සහිතවූ නාසය නමැති සමුද්‍රය තරණය කෙළේය. තරණය කළාවූ පරතෙරට ගියාවූ බ්‍රාහ්මණතෙමේ ගොඩබිම සිටීයයි කියනු ලැබේ.
’’මහණෙනි, දිව පුරුෂයාට සමුද්‍රය වේ. එහි රසයන්ගෙන් හටගත් රළ වේගය වේ. යමෙක් ඒ රසයන්ගෙන් හටගත් රළවේගය ඉවසාද, මහණෙනි, හෙතෙම කෙළෙස් නමැති රළවේග සහිතවූ කෙළෙස් දියසුළි සහිතවූ කෙළෙස් නමැති අල්වාගන්නා සතුන් ඇති කෙළෙස් රකුසන් සහිතවූ දිව නමැති සමුද්‍රය තරණය කෙළේය. තරණය කළාවූ පරතෙරට ගියාවූ බ්‍රාහ්මණතෙමේ ගොඩබිම සිටීයයි කියනු ලැබේ.
’’මහණෙනි, කය පුරුෂයාට සමුද්‍රය වේ. එහි ස්පර්‍ශයන්ගෙන් හටගත් රළ වේගය වේ. යමෙක් ඒ ස්පර්‍ශයන්ගෙන් හටගත් රළවේගය ඉවසාද, මහණෙනි, හෙතෙම කෙළෙස් නමැති රළවේග සහිතවූ කෙළෙස් දියසුළි සහිතවූ කෙළෙස් නමැති අල්වාගන්නා සතුන් ඇති කෙළෙස් රකුසන් සහිතවූ කය නමැති සමුද්‍රය තරණය කෙළේය. තරණය කළාවූ පරතෙරට ගියාවූ බ්‍රාහ්මණතෙමේ ගොඩබිම සිටීයයි කියනු ලැබේ.
’’මහණෙනි, සිත පුරුෂයාට සමුද්‍රය වේ. එහි ධර්‍මයන්ගෙන් හටගත් රළ වේගය වේ. යමෙක් ඒ ධර්‍මයන්ගෙන් හටගත් රළවේගය ඉවසාද, මහණෙනි, හෙතෙම කෙළෙස් නමැති රළවේග සහිතවූ කෙළෙස් දියසුළි සහිතවූ කෙළෙස් නමැති අල්වාගන්නා සතුන් ඇති කෙළෙස් රකුසන් සහිතවූ සිත නමැති සමුද්‍රය තරණය කෙළේය. තරණය කළාවූ පරතෙරට ගියාවූ බ්‍රාහ්මණතෙමේ ගොඩබිම සිටීයයි කියනු ලැබේ.
’’යමෙක් තෙම කෙළෙස් නමැති අල්වාගන්නා සතුන් සහිතවූ කෙළෙස් රකුසන් සහිතවූ රළ භය සහිතවූ තරණය කිරීමට දුෂ්කරවූ මේ මුහුද තරණය කෙළේද, හෙතෙම වේදයන්ගේ පරතෙරට ගියාවූ වැස නිමවන ලද බඹසර ඇත්තාවූ සංස්කාර ලෝකයාගේ කෙලවරට ගියාවූ නිර්‍වාණයට පැමිණියෙකැයි කියනු ලැබේ., යයි (වදාළ සේක.)