සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
18. සමුද්ද වර්‍ගය
2. සමුද්දය සූත්‍රය. (2)
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, සමුද්‍රය සමුද්‍රයයි අශ්‍රුතවත් පෘථග්ජන තෙම කියයි. මහණෙනි, මෙය ආර්‍ය්‍ය විනයෙහි සමුද්‍රය නොවේ. මහණෙනි මෙය මහත්වූ වතුර රාශියෙකි. මහත්වූ ජලයකි.
’’මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ. මහණෙනි, මෙය ආර්‍ය්‍ය විනයෙහි සමුද්‍රයයි කියනු ලැබේ. මෙහි මේ දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ ලෝවැසිතෙම මහණ බමුණන් සහිතවූ දෙව් මිනිසුන් සහිතවූ සත්‍ව ප්‍රජාව බොහෝ සෙයින් ගිලී නූල් ගුලියක් මෙන් පැටලී රෙදි වියන්නන්ගේ කැඳ දැමූ නූල් ගුලියක් මෙන් ගැටගැසී මුදුතණ බබුස්තණ පදුරක්මෙන් අවුල්වී සැපයෙන් පහවූ විෂමව වැටෙන්නාවූ දුර්‍ගති නම් සංසාරය නොඉක්මවයි.
’’මහණෙනි, සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ශබ්දයෝ ඇත්තාහ. මහණෙනි, මෙය ආර්‍ය්‍ය විනයෙහි සමුද්‍රයයි කියනු ලැබේ. මෙහි මේ දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ ලෝවැසිතෙම මහණ බමුණන් සහිතවූ දෙව් මිනිසුන් සහිතවූ සත්‍ව ප්‍රජාව බොහෝ සෙයින් ගිලී නූල් ගුලියක් මෙන් පැටලී රෙදි වියන්නන්ගේ කැඳ දැමූ නූල් ගුලියක් මෙන් ගැටගැසී මුදුතණ බබුස්තණ පදුරක්මෙන් අවුල්වී සැපයෙන් පහවූ විෂමව වැටෙන්නාවූ දුර්‍ගති නම් සංසාරය නොඉක්මවයි.
’’මහණෙනි, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ගන්‍ධයෝ ඇත්තාහ. මහණෙනි, මෙය ආර්‍ය්‍ය විනයෙහි සමුද්‍රයයි කියනු ලැබේ. මෙහි මේ දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ ලෝවැසිතෙම මහණ බමුණන් සහිතවූ දෙව් මිනිසුන් සහිතවූ සත්‍ව ප්‍රජාව බොහෝ සෙයින් ගිලී නූල් ගුලියක් මෙන් පැටලී රෙදි වියන්නන්ගේ කැඳ දැමූ නූල් ගුලියක් මෙන් ගැටගැසී මුදුතණ බබුස්තණ පදුරක්මෙන් අවුල්වී සැපයෙන් පහවූ විෂමව වැටෙන්නාවූ දුර්‍ගති නම් සංසාරය නොඉක්මවයි.
’’මහණෙනි, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ රසයෝ ඇත්තාහ. මහණෙනි, මෙය ආර්‍ය්‍ය විනයෙහි සමුද්‍රයයි කියනු ලැබේ. මෙහි මේ දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ ලෝවැසිතෙම මහණ බමුණන් සහිතවූ දෙව් මිනිසුන් සහිතවූ සත්‍ව ප්‍රජාව බොහෝ සෙයින් ගිලී නූල් ගුලියක් මෙන් පැටලී රෙදි වියන්නන්ගේ කැඳ දැමූ නූල් ගුලියක් මෙන් ගැටගැසී මුදුතණ බබුස්තණ පදුරක්මෙන් අවුල්වී සැපයෙන් පහවූ විෂමව වැටෙන්නාවූ දුර්‍ගති නම් සංසාරය නොඉක්මවයි.
’’මහණෙනි, කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ස්පර්‍ශයෝ ඇත්තාහ. මහණෙනි, මෙය ආර්‍ය්‍ය විනයෙහි සමුද්‍රයයි කියනු ලැබේ. මෙහි මේ දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ ලෝවැසිතෙම මහණ බමුණන් සහිතවූ දෙව් මිනිසුන් සහිතවූ සත්‍ව ප්‍රජාව බොහෝ සෙයින් ගිලී නූල් ගුලියක් මෙන් පැටලී රෙදි වියන්නන්ගේ කැඳ දැමූ නූල් ගුලියක් මෙන් ගැටගැසී මුදුතණ බබුස්තණ පදුරක්මෙන් අවුල්වී සැපයෙන් පහවූ විෂමව වැටෙන්නාවූ දුර්‍ගති නම් සංසාරය නොඉක්මවයි.
’’මහණෙනි, මනෝ විඤ්ඤාණයෙන් දැනගතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ධර්‍මයෝ ඇත්තාහ. මහණෙනි, මෙය ආර්‍ය්‍ය විනයෙහි සමුද්‍රයයි කියනු ලැබේ. මෙහි මේ දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ ලෝවැසිතෙම මහණ බමුණන් සහිතවූ දෙව් මිනිසුන් සහිතවූ සත්‍ව ප්‍රජාව බොහෝ සෙයින් ගිලී නූල් ගුලියක් මෙන් පැටලී රෙදි වියන්නන්ගේ කැඳ දැමූ නූල් ගුලියක් මෙන් ගැටගැසී මුදුතණ බබුස්තණ පදුරක්මෙන් අවුල්වී සැපයෙන් පහවූ විෂමව වැටෙන්නාවූ දුර්‍ගති නම් සංසාරය නොඉක්මවයි., (වදාළ සේක.)
(1) , යමෙකුගේ රාගයද, ද්වේෂයද, අවිද්‍යාවද වලක්වන ලද්දාහුද, හෙතෙම කෙළෙස් නමැති සතුන් අල්වාගන්නවුන් සහිතවූ කෙළෙස් රකුසන් සහිතවූ ක්ලේශ නමැති රළ භය සහිතවූ තරණය කිරීමට දුෂ්කරවූ මේ සමුද්‍රය තරණය කෙළේය.
(2) , ඇලීම ඉක්මවූ මරුවන් දුරුකළාවූ උපධි රහිතවූ දුකඛයන්ගේ අසතයට ගියාවූ හෙතෙම නැවත ඉපදීමට සුදුසු බවට නොපැමිණෙයි. මාරයා මුළාකෙළේයයි කියමියි’ (වදාළ සේක.)