සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
18. සමුද්ද වර්‍ගය
10. හත්‍ථපාදූපමා සූත්‍රය. (2)
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, අත්දෙක ඇති කල්හි ගැණීම බහා තැබීම වේද, පා දෙක ඇති කල්හි ඉදිරියට යාම ආපසුයාම වේද, හන්දි ඇති කල්හි හැකිලීම දිගහැරීම වේද, කුස ඇති කල්හි සා පිපාස දෙක වේද,
’’මහණෙනි, එපරිද්දෙන්ම ඇස ඇති කල්හි චක්ඛු සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක උපදියි.
කණ ඇති කල්හි සෝත සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක උපදියි.
නාසය ඇති කල්හි ඝාණ සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක උපදියි.
දිව ඇති කල්හි ජිව්හා සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක උපදියි.
කය ඇති කල්හි කාය සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක උපදියි.
සිත ඇති කල්හි මනෝ සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක උපදියි.
’’මහණෙනි, අත්දෙක නැති කල්හි ගැණීම බහා තැබීම නොවේද, පා දෙක නැති කල්හි ඉදිරියට යාම පස්සට යාම නොවේද, හන්දි නැති කල්හි හැකිලීම දිගහැරීම නොවේද, කුස නැති කල්හි සා පිපාස දෙක නොවේද,
’’මහණෙනි, එපරිද්දෙන්ම ඇස නැති කල්හි චක්ඛු සම්ඵස්සය නිසා තමාතුළ සැප දුක නූපදියි. කණ නැති කල්හි සෝත සම්ඵස්සය නිසා තමාතුළ සැප හා දුක නූපදියි. නාසය නැති කල්හි ඝාණ සම්ඵස්සය නිසා තමාතුළ සැප හා දුක නූපදියි. දිව නැති කල්හි ජිව්හා සම්ඵස්සය නිසා තමාතුළ සැප හා දුක නූපදියි. කය නැති කල්හි කාය සම්ඵස්සය නිසා තමාතුළ සැප හා දුක නූපදියි. සිත නැති කල්හි මනෝ සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක නූපදීයයි, (වදාළ සේක.)
තුන්වෙනි සමුද්දය වර්‍ගය නිමි.