සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
19. ආසිවිස වර්‍ගය
1. ආසිවිස සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, යම්සේ බලවත් උග්‍රවිෂ ඇත්තාවූ දරුණු විෂ ඇත්තාවූ සර්පයෝ සතර දෙනෙක් වෙත්, ඉක්බිති ජීවත්වනු කැමැත්තාවූ නොමැරෙනු කැමැත්තාවූ සැප කැමැත්තාවූ දුක පිළිකුල් කරන්නාවූ පුරුෂයෙක් එන්නේය. ඔහුට මෙසේ කියන්නාහුය. ‘ පින්වත් පුරුෂය, තොප විසින් උග්‍ර විෂ ඇත්තාවූ දරුණු විෂ ඇත්තාවූ මේ සර්පයෝ සතරදෙන කලින් කල නැගිටවිය යුත්තාහුය. කලින් කල නැහැවිය යුත්තාහුය. කලින් කල වැළඳවිය යුත්තාහුය. කලින් කල සයනය කරවිය යුත්තාහුය. පින්වත් පුරුෂය, යම් කලෙක මේ උග්‍ර විෂ ඇත්තාවූ දරුණු විෂ ඇත්තාවූ සර්පයන් සතරදෙනාගෙන් එක්තරා එකෙක් තට කිපෙන්නේද, පින්වත් පුරුෂය, ඒ හේතුවෙන් නුඹ මරණයට හෝ මරණය සමාන දුකට හෝ පැමිණෙන්නේය. පින්වත් පුරුෂය, තොප විසින් යමක් කටයුතුද, එය කරව කියායි.
’’මහණෙනි, එකල්හි ඒ පුරුෂතෙම උග්‍රවිෂ ඇත්තාවූ දරුණු විෂ ඇත්තාවූ සර්පයන් සතර දෙනාට භයවී යම් ඒ තැනකින් පැන යන්නේය. (ඉක්බිති) ඔහුට මෙසේ කියන්නාහුය. පින්වත් පුරුෂය, මේ තොපගේ පසුපස්සේ සතුරුවූ වධකයෝ පස් දෙනෙක් යම් තැනෙක්හිම ඔහු දක්නෙමුද, එතැන්හිම ඔහු දිවි තොර කරන්නෙමුයි, එලවා එන්නාහුය. පින්වත් පුරුෂය, තොප විසින් යමක් කටයුතුද, එය කරවයි කියායි.
’’මහණෙනි, එකල්හි ඒ පුරුෂතෙම උග්‍රවිෂ ඇත්තාවූ දරුණු විෂ ඇත්තාවූ සර්පයන් සතර දෙනාට භයවී සතුරු වූ වධකයන් පස් දෙනාට භයවී යම් ඒ තැනකින් පැන යන්නේය. (ඉක්බිති) ඔහුට මෙසේ කියන්නාහුය. ‘ පින්වත් පුරුෂය, තොපගේ පසුපස්සේ ඔසවාගත් කඩුවක් ඇතිවූ සමීප ආශ්‍රය ඇති මේ හයවැනි වධකයෙක්ද යම් තැනකදී ඔහු දක්නෙම්ද, එතැනදීම ඔහුගේ හිස ගසා දමන්නෙමියි, එලවා එන්නේ වෙයි. පින්වත් පුරුෂය, තොප විසින් යමක් කටයුතුද, එය කරවයි’ යනුවෙනි.
’’මහණෙනි, එකල්හි ඒ පුරුෂතෙම උග්‍රවිෂ ඇත්තාවූ ඝොර විෂ ඇත්තාවූ සර්පයන් සතර දෙනාට භයව සතුරු වධකයන් පස් දෙනාට භයව ඔසවාගත් කඩුවක් ඇති සමීප ආශ්‍රය ඇති වධකයාට භයව යම් ඒ තැනකින් පලා යන්නේය. හෙතෙම හිස්වූ ගමක් දක්නේය. යම් ඒ ගෙයකට ඇතුල් වන්නේද, එය හිස්වූ ගෙයක්ම වන්නේය. කිසිවක් නැති ගෙයක්ම වන්නේය. ශූන්‍යවූ ගෙයක්ම වන්නේය. යම් ඒ භාජනයක් අල්වන්නේද, එය හිස්වූ භාජනයක්ම වන්නේය. කිසිවක් නැති භාජනයක් වන්නේය. ශූන්‍යවූ භාජනයක්ම වන්නේය. (ඉක්බිති) ඔහුට මෙසේ කියන්නාහුය. ‘ පින්වත් පුරුෂය, දැන් මේ හිස්වූ ගම ගම් පහරණ සොරු වනසන්නාහුය. පින්වත් පුරුෂය, තොප විසින් යමක් කටයුතුද, එය කරව’ කියායි.
’’මහණෙනි, ඉක්බිති ඒ පුරුෂතෙම උග්‍රවිෂ ඇත්තාවූ දරුණු විෂ ඇත්තාවූ නයි සතර දෙනාට භයව සතුරු වූ වධකයන් පස් දෙනාට භයව ඔසවාගත් කඩුවක් ඇති සමීපයෙහි හැසිරෙන්නාවූ හයවැනි වධකයාට භයව ගම් පහරණ සොරුන්ට භයව යම් ඒ තැනෙකින් හෝ පලා යන්නේය. හෙතෙම මෙතෙර සැක සහිතවූ භය සහිතවූ එතෙර සැනසීම ඇත්තාවූ භයක් නැත්තාවූ එතෙර වියයුතු මහත් ජලයක් දක්නේය. මොහුට එතෙර වන්නාවූ ඔරුවක් හෝ එතෙරවන ඒදණ්ඩක් හෝ මෙතෙරින් එතෙරට යාමට නැත්තේය.
’’මහණෙනි, ඉක්බිති ඒ පුරුෂයාට මෙබඳු අදහසක් වන්නේය. මේ මහා ජලයකි. මෙතෙර සැක සහිතය. භය සහිතය. එතෙර සැනසීම සහිතය. නිර්භයය. එතෙර වන්නාවූ ඔරුවක් හෝ එතෙරට යාමට ඒදණ්ඩක් හෝ නැත්තේය. මම උණ බට ලී දඬු අතු කොල එකතුකොට පහුරක් බැඳ ඒ පහුර අත් දෙකින්ද පා දෙකික්ද පදිමින් සුවසේ එතෙරට යන්නෙම්නම් යෙහෙකැයි’ කියායි.
’’මහණෙනි, ඉක්බිති ඒ පුරුෂතෙම උණ බට ලී දඬු අතු කොල ආදිය එකතුකොට පහුරක් බැඳ ඒ පහුර අත් දෙකින්ද පා දෙකික්ද පදිමින් සුවසේ එතෙරට යන්නේය. එතෙරට ගියාවූ බ්‍රාහ්මණතෙම ගොඩබිම සිටියි.
’’මහණෙනි, මා විසින් මේ උපමාව අර්ත්‍ථ හැඟවීමට කරණලදී. මෙය මෙහි අර්ත්‍ථය වන්නේය. මහණෙනි, උග්‍රවිෂ ඇත්තාවූ දරුණු විෂ ඇත්තාවූ නයි සතර දෙනා යනු පඨවි ධාතු, ආපො ධාතු, තෙජො ධාතු, වායො ධාතු යන සතරමහා භූතයන්ට නමකි. මහණෙනි, සතුරුවූ වධකයෝ පස්දෙනා යනු උපාදානස්කන්‍ධ පසට නමකි. එනම් රූප උපාදානස්කන්‍ධය, වේදනා උපාදානස්කන්‍ධය, සංඥා උපාදානස්කන්‍ධය, සංස්කාර උපාදානස්කන්‍ධය, විඤඤාණ උපාදානස්කන්‍ධය, (යන මොහුයි.) මහණෙනි, ඔසවාගත් කඩුවක් ඇති සමීපයෙහි හැසිරෙන සවැනිවූ වධකයා යනු නන්‍දිරාගයට නමකි. මහණෙනි, හිස්ගම යනු සවැදෑරුම් වූ අධ්‍යාත්මික ආයතනයන්ට නමකි.
’’මහණෙනි, පණ්ඩිතවූ, ව්‍යක්තවූ, නුවණැත්තාවූ භික්‍ෂුතෙම ඉදින් ඇසින් පරීක්‍ෂාකර බලන්නේ නම් සිස් වූවක්ම වැටහෙයි. කිසිත් නැතුවක්ම වැටහෙයි. ශූන්‍ය වූවක්ම වැටහෙයි. මහණෙනි, පණ්ඩිතවූ, ව්‍යක්තවූ, නුවණැත්තාවූ භික්‍ෂුතෙම ඉදින් කණින් පරීක්‍ෂාකර බලන්නේ නම් සිස් වූවක්ම වැටහෙයි. කිසිත් නැතුවක්ම වැටහෙයි. ශූන්‍ය වූවක්ම වැටහෙයි. මහණෙනි, පණ්ඩිතවූ, ව්‍යක්තවූ, නුවණැත්තාවූ භික්‍ෂුතෙම ඉදින් නාසයෙන් පරීක්‍ෂාකර බලන්නේ නම් සිස් වූවක්ම වැටහෙයි. කිසිත් නැතුවක්ම වැටහෙයි. ශූන්‍ය වූවක්ම වැටහෙයි. මහණෙනි, පණ්ඩිතවූ, ව්‍යක්තවූ, නුවණැත්තාවූ භික්‍ෂුතෙම ඉදින් දිවෙන් පරීක්‍ෂාකර බලන්නේ නම් සිස් වූවක්ම වැටහෙයි. කිසිත් නැතුවක්ම වැටහෙයි. ශූන්‍ය වූවක්ම වැටහෙයි. මහණෙනි, පණ්ඩිතවූ, ව්‍යක්තවූ, නුවණැත්තාවූ භික්‍ෂුතෙම ඉදින් කයින් පරීක්‍ෂාකර බලන්නේ නම් සිස් වූවක්ම වැටහෙයි. කිසිත් නැතුවක්ම වැටහෙයි. ශූන්‍ය වූවක්ම වැටහෙයි. මහණෙනි, ඉදින් ව්‍යක්තවූ, නුවණැත්තාවූ පණ්ඩිත භික්‍ෂුතෙම සිත පරීක්‍ෂා කරයි නම් සිස් වූවක්ම වැටහෙයි. කිසිත් නැතුවක්ම වැටහෙයි. ශූන්‍ය වූවක්ම වැටහෙයි.
’’මහණෙනි, ගම් පහරණ හොරු යනු බාහිරවූ සවැදෑරුම්වූ ආයතනයන්ට නමකි. මහණෙනි, ඇස මනාප අමනාපවූ රූපයන්හි හැපෙයි. කණ මනාප අමනාප ශබ්දයන්හි හැපෙයි. නාසය මනාප අමනාප ගන්‍ධයන්හි හැපෙයි. දිව මනාප අමනාප රසයන්හි හැපෙයි. කය මනාප අමනාප ස්පර්‍ශයන්හි හැපෙයි. සිත මනාප අමනාප ධර්‍මයන්හි හැපෙයි.
’’මහණෙනි, මහත් ජලය යනු සතර ඔඝයන්ට නමකි. එනම් කාම ඔඝය, භව ඔඝය, දිට්ඨි ඕඝය සහ අවිජ්ජා ඕඝය යන සතරයි. , මහණෙනි, සැක සහිතවූ භය සහිතවූ මෙතෙර යනු මමයයි ගන්නා පඤ්චස්කන්‍ධයට මේ නමකි. මහණෙනි, සැනසීම ඇති නිර්භයවූ එතෙර යනු නිර්‍වාණයට නමකි. මහණෙනි, පහුර යනු ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයට නමකි. එනම් සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්‍මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මොහුයි. මහණෙනි, අත් දෙකින්ද පා දෙකින්ද පැදීම යනු වීර්‍ය්‍යයට නමකි. මහණෙනි, එතෙරෙහිවූ පරතෙරට ගියාවු බ්‍රාහ්මණතෙම ගොඩබිම සිටීයනු රහතුන් වහන්සේට නමකියි, (වදාළ සේක.)