සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

19. ආසිවිස වර්‍ගය

2. රථ සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, ධර්‍ම තුනකින් යුක්තවූ භික්‍ෂුතෙම මේ ආත්මයෙහිම සැප සොම්නස් බහුලකොට ඇතිව වාසය කරයි. ඔහු විසින් ආශ්‍රවයන් නැසීම පිණිස කාරණයද සම්පූර්‍ණ කරණ ලද්දේ වෙයි. කවර ධර්‍ම තුනකින්ද යත්, ඉන්‍ද්‍රියයන් කෙරෙහි රක්නාලද දොරටු ඇත්තේ වෙයිද, භොජනයෙහි පමණ දන්නේ වෙයිද, නිදි දුරුකිරීමෙහි යෙදුනේ වෙයිද (යන තුන වෙත්.)

’’මහණෙනි, කෙසේනම් භික්‍ෂුතෙම ඉන්‍ද්‍රියයන්හි රක්නාලද දොරටු ඇත්තේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම ඇසින් රූපයක් දැක නිමිති ගන්නේ නොවේද, කුඩා සටහන් ගන්නේ නොවේද, යම් හේතුවකින් චක්ඛු ඉන්‍ද්‍රියයෙහි සංවර රහිතව වාසය කරන්නහුට විෂම ලොභ දොම්නස් යන ලාමකවූ අකුසල ධර්‍මයෝ නැවත නැවත වැස්සෙන්නාහුද, ඒ චකඛු ඉන්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදියි. චකඛු ඉන්‍ද්‍රියය රකියි. චකඛු ඉන්‍ද්‍රියෙහි සංවරයට පැමිණෙයි.

’’කණින් ශබ්දයක් අසා නිමිති ගන්නේ නොවේද, කුඩා සටහන් ගන්නේ නොවේද, යම් හේතුවකින් මේ සෝත ඉන්‍ද්‍රියයෙහි සංවර රහිතව වාසය කරන්නහුට විෂම ලොභ දොම්නස් යන ලාමකවූ අකුසල ධර්‍මයෝ නැවත නැවත වැස්සෙන්නාහුද, ඒ සෝත ඉන්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදියි. සෝත ඉන්‍ද්‍රියය රකියි. සෝත ඉන්‍ද්‍රියෙහි සංවරයට පැමිණෙයි.

’’නාසයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණය කොට නිමිති ගන්නේ නොවේද, කුඩා සටහන් ගන්නේ නොවේද, යම් හේතුවකින් මේ ඝාණ ඉන්‍ද්‍රියයෙහි සංවර රහිතව වාසය කරන්නහුට විෂම ලොභ දොම්නස් යන ලාමකවූ අකුසල ධර්‍මයෝ නැවත නැවත වැස්සෙන්නාහුද, ඒ ඝාණ ඉන්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදියි. ඝාණ ඉන්‍ද්‍රියය රකියි. ඝාණ ඉන්‍ද්‍රියෙහි සංවරයට පැමිණෙයි.

’’දිවෙන් රසයක් විඳ නිමිති ගන්නේ නොවේද, කුඩා සටහන් ගන්නේ නොවේද, යම් හේතුවකින් මේ ජිව්හා ඉන්‍ද්‍රියයෙහි සංවර රහිතව වාසය කරන්නහුට විෂම ලොභ දොම්නස් යන ලාමකවූ අකුසල ධර්‍මයෝ නැවත නැවත වැස්සෙන්නාහුද, ඒ ජිව්හා ඉන්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදියි. ජිව්හා ඉන්‍ද්‍රියය රකියි. ජිව්හා ඉන්‍ද්‍රියෙහි සංවරයට පැමිණෙයි.

’’කයින් ස්පර්‍ශයක් ස්පර්‍ශකොට නිමිති ගන්නේ නොවේද, කුඩා සටහන් ගන්නේ නොවේද, යම් හේතුවකින් මේ කාය ඉන්‍ද්‍රියයෙහි සංවර රහිතව වාසය කරන්නහුට විෂම ලොභ දොම්නස් යන ලාමකවූ අකුසල ධර්‍මයෝ නැවත නැවත වැස්සෙන්නාහුද, ඒ කාය ඉන්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදියි. කාය ඉන්‍ද්‍රියය රකියි. කාය ඉන්‍ද්‍රියෙහි සංවරයට පැමිණෙයි. ,සිතින් ධර්‍මයක් දැන නිමිති ගන්නේ නොවේද, කුඩා සටහන් ගන්නේ නොවේද, යම් හේතුවකින් මේ මනින්‍ද්‍රියයෙහි අසංවරව වාසය කරන්නහුට විෂම ලොභ දොම්නස් යන ලාමකවූ අකුසල ධර්‍මයෝ නැවත නැවත වැස්සෙන්නාහුද, ඒ මනින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදියි. මනින්‍ද්‍රිය රකියි. මනින්‍ද්‍රියෙහි සංවරයට පැමිණෙයි.

’’මහණෙනි, යම්සේ සමභූමිය ඇති සතර මංසන්‍ධියක බහා තබන ලද කෙවිට ඇති ආජානීය අශ්වයන් යෙදූ රථයක් වන්නේද, අශ්වයන් දමනය කිරීමෙහි දක්‍ෂවූ සමර්‍ථවූ රථාචාර්‍ය්‍යයෙක් ඒ රථයට නැග වම් අතින් රැහැන් ගෙන දකුණතින් කෙවිට ගෙන, යම් දිශාවකට කැමැතිද යම් තැනකට කැමතිද, එතැනට ගමන් කරවන්නේද, ආපසු ගමන් කරවන්නේද, මහණෙනි, එපරිද්දෙන්ම භික්‍ෂුතෙම මේ සවැදෑරුම්වූ ඉන්‍ද්‍රියයන්ගේ ආරක්‍ෂාව පිණිස හික්මෙයි. සංයමය පිණිස හික්මෙයි. දමණය පිණිස හික්මෙයි. සංසිඳීම පිණිස හික්මෙයි. මහණෙනි, මෙසේ වනාහී භික්‍ෂුතෙම ඉන්‍ද්‍රියයන්හි රක්නාලද දොරටු ඇත්තේ වෙයි.

’’මහණෙනි, භික්‍ෂුතෙම කෙසේ නම් භොජනයෙහි පමණ දන්නේවේද, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම නුවණින් සලකා ආහාරය ගනියි. ක්‍රීඩා පිණිස නොවෙයි, මද වැඩීම පිණිස නොවෙයි, සැරසීම පිණිස නොවෙයි, අලඬකාර කිරීම පිණිස නොවෙයි. මේ ශරීරයාගේ පැවැත්ම පිණිසම, යැපීම පිණිසම, විහිංසා වැලැක්ම පිණිසම, බ්‍රහ්මචර්‍ය්‍යාවට අනුග්‍රහ පිණිසම වේ. මෙසේ (ආහාර ගැනීමෙන්) පුරාණ වේදනා නසමි. අළුත්වූ වේදනාද නූපදවන්නෙමි. මාගේ ජීවිත යාත්‍රාවද නිරවද්‍ය බවද පහසු විහරණයද වන්නේය යනුවෙනි.

’’මහණෙනි, යම්සේ පුරුෂයෙක් වැඩීම පිණිසම වනයක බෙහෙත් ගල්වන්නේද යම්සේ හෝ බර ඉසිලීම සඳහාම කඩ ඇණයට තෙල් දමන්නේද, මහණෙනි, එමෙන්ම භික්‍ෂුතෙම නුවණින් සලකා ආහාරය ගනියි. ක්‍රීඩා පිණිස නොවෙයි, මද වැඩීම පිණිස නොවේ, සැරසීම පිණිස නොවේ. මේ ශරීරයාගේ පැවැත්ම පිණිසම යැපීම පිණිසම විහිංසා වැලැක්ම පිණිසම බ්‍රහ්මචර්‍ය්‍යාවට අනුග්‍රහ පිණිසම වේ. මෙසේ ආහාර වැළඳීමෙන් පුරාණ වේදනාද නසමි. අළුත්වූ වේදනාද නූපදවන්නෙමි. මාගේ ජීවිත යාත්‍රාවද, නිරවද්‍ය බවද, පහසු විහරණයද වන්නේය, යනුවෙනි. මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂුතෙම භොජනයෙහි පමණ දන්නේ වේ.

’’මහණෙනි, කෙසේ නම් භික්‍ෂුතෙම නිදි දුරු කිරීමෙහි යෙදුනේවේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම (දවල්) දවස සක්මනින්ද හිඳීමෙන්ද, නීවරණ ධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කරයි. රාත්‍රියෙහි පළමුවැනි යාමය සක්මනින්ද හිඳීමෙන්ද නීවරණ ධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කරයි. රාත්‍රියෙහි මධ්‍යම යාමය දකුණැලයෙන් දකුණු පයෙන් වම් පය මඳක් ඉක්මවා තබා සිහි ඇත්තේ නුවණ ඇත්තේ නැඟිටිමි යන සංඥාව මෙනෙහිකොට උතුම් නිදීම (සිංහ සෙය්‍යාව) කරයි. රාත්‍රියෙහි අළුයම සයනයෙන් නැගිට සක්මනින්ද හිඳීමෙන්ද නීවරණ ධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කරයි. මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂුතෙම නිදි දුරුකිරීමෙහි යෙදුනේ වෙයි. මහණෙනි, මේ ධර්‍ම තුනෙන් යුක්තවූ භික්‍ෂුතෙම මේ ආත්මයෙහිම සැප සොම්නස් බහුලකොට ඇතිව වාසය කරයි. මොහු විසින් ආශ්‍රවයන් නැසීම පිණිස පටන් ගන්නා ලද්දේයයි, (වදාළේය.)