සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
9. ඡන්න වර්‍ගය
8. ඒජා සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ‘කලන්‍දක නිවාප’ නම්ලත් වේළු (උණ) වනයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි,’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
’’මහණෙනි, තෘෂ්ණාව රෝගයකි. තෘෂ්ණාව ගඩුවෙකි. තෘෂ්ණාව හුලකි. මහණෙනි, එහෙයින් මෙහිලා තථාගතතෙම තෘෂ්ණා රහිතවූයේ පහවූ තෘෂ්ණා හුල් ඇත්තේ වාසය කරයි. මහණෙනි, එහෙයින් මෙහිලා මහණතෙමේද තෘෂ්ණා රහිතවූයේ පහවූ තෘෂ්ණා හුල් ඇතිව ඉදින් වාසය කිරීමට කැමති වන්නේ නම් ඇස මමයයි නො හඟින්නේය. ඇස කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. ඇස කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. ඇස මාගේයයි නොහඟින්නේය. රුපයන් මමයයි නොහඟින්නේය. රූප කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. රූපය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. රූපය මාගේයයි නොහඟින්නේය. චක්ඛු විඤ්ඤාණය මමයයි නොහඟින්නේය. චක්ඛු විඤ්ඤාණය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. චක්ඛු විඤ්ඤාණය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. චක්ඛු විඤ්ඤාණය මාගේයයි නොහඟින්නේය. චක්ඛු සම්ඵස්සය මමයයි නොහඟින්නේය. චක්ඛු සම්ඵස්සය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. චක්ඛු සම්ඵස්සය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. චක්ඛු සම්ඵස්සය මාගේයයි නොහඟින්නේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද මමයයි නොහඟින්නේය. එය කෙරෙහිද මා ඇතැයි නොහඟින්නේය. එය කෙරෙන්ද අනිකක් මමයයි නොහඟින්නේය. එය මාගේයයි නොහඟින්නේය.
’’මහණෙනි, යමක් මමයයි හඟීද, යමක් කෙරෙහි මා ඇතැයි හඟීද, යමක් කෙරෙන් අනිකක් මමයයි හඟීද, යමක් මාගේයයි හඟීද, එය එයින් අන් ආකාරයක් වෙයි. අන් ආකාරයක් වන්නාවූ භවයෙහි ඇළුනාවූ ලෝකයතෙම භවයටම කැමතිවෙයි.
’’කණ මමයයි නොහඟින්නේය. කණ කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. කණ කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. කණ මාගේයයි නොහඟින්නේය. ශබ්දය මමයයි නොහඟින්නේය. ශබ්දය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. ශබ්දය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. ශබ්දය මාගේයයි නොහඟින්නේය. සෝත විඤ්ඤාණය මමයයි නොහඟින්නේය. සෝත විඤ්ඤාණය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. සෝත විඤ්ඤාණය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. සෝත විඤ්ඤාණය මාගේයයි නොහඟින්නේය. සෝත සම්ඵස්සය මමයයි නොහඟින්නේය. සෝත සම්ඵස්සය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. සෝත සම්ඵස්සය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. සෝත සම්ඵස්සය මාගේයයි නොහඟින්නේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද මමයයි නොහඟින්නේය. එය කෙරෙහිද මා ඇතැයි නොහඟින්නේය. එය කෙරෙන්ද අනිකක් මමයයි නොහඟින්නේය. එය මාගේයයි නොහඟින්නේය.
’’මහණෙනි, යමක් මමයයි හඟීද, යමක් කෙරෙහි මා ඇතැයි හඟීද, යමක් කෙරෙන් අනිකක් මමයයි හඟීද, යමක් මාගේයයි හඟීද, එය එයින් අන් ආකාරයක් වෙයි. අන් ආකාරයක් වන්නාවූ භවයෙහි ඇළුනාවූ ලෝකයතෙම භවයටම කැමතිවෙයි.
’’නාසය මමයයි නොහඟින්නේය. නාසය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. නාසය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. නාසය මාගේයයි නොහඟින්නේය. ගන්‍ධය මමයයි නොහඟින්නේය. ගන්‍ධය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. ගන්‍ධය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. ගන්‍ධය මාගේයයි නොහඟින්නේය. ඝාණ විඤ්ඤාණය මමයයි නොහඟින්නේය. ඝාණ විඤ්ඤාණය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. ඝාණ විඤ්ඤාණය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. ඝාණ විඤ්ඤාණය මාගේයයි නොහඟින්නේය. ඝාණ සම්ඵස්සය මමයයි නොහඟින්නේය. ඝාණ සම්ඵස්සය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. ඝාණ සම්ඵස්සය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. ඝාණ සම්ඵස්සය මාගේයයි නොහඟින්නේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද මමයයි නොහඟින්නේය. එය කෙරෙහිද මා ඇතැයි නොහඟින්නේය. එය කෙරෙන්ද අනිකක් මමයයි නොහඟින්නේය. එය මාගේයයි නොහඟින්නේය. ,මහණෙනි, යමක් මමයයි හඟීද, යමක් කෙරෙහි මා ඇතැයි හඟීද, යමක් කෙරෙන් අනිකක් මමයයි හඟීද, යමක් මාගේයයි හඟීද, එය එයින් අන් ආකාරයක් වෙයි. අන් ආකාරයක් වන්නාවූ භවයෙහි ඇළුනාවූ ලෝකයතෙම භවයටම කැමතිවෙයි.
’’දිව මමයයි නොහඟින්නේය. දිව කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. දිව කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. දිව මාගේයයි නොහඟින්නේය. රසයන් මමයයි නොහඟින්නේය. රසයන් කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. රසයන් කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. රසයන් මාගේයයි නොහඟින්නේය. ජිව්හා විඤ්ඤාණය මමයයි නොහඟින්නේය. ජිව්හා විඤ්ඤාණය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. ජිව්හා විඤ්ඤාණය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. ජිව්හා විඤ්ඤාණය මාගේයයි නොහඟින්නේය. ජිව්හා සම්ඵස්සය මමයයි නොහඟින්නේය. ජිව්හා සම්ඵස්සය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. ජිව්හා සම්ඵස්සය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. ජිව්හා සම්ඵස්සය මාගේයයි නොහඟින්නේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද මමයයි නොහඟින්නේය. එය කෙරෙහිද මා ඇතැයි නොහඟින්නේය. එය කෙරෙන්ද අනිකක් මමයයි නොහඟින්නේය. එය මාගේයයි නොහඟින්නේය.
’’මහණෙනි, යමක් මමයයි හඟීද, යමක් කෙරෙහි මා ඇතැයි හඟීද, යමක් කෙරෙන් අනිකක් මමයයි හඟීද, යමක් මාගේයයි හඟීද, එය එයින් අන් ආකාරයක් වෙයි. අන් ආකාරයක් වන්නාවූ භවයෙහි ඇළුනාවූ ලෝකයතෙම භවයටම කැමතිවෙයි.
’’කය මමයයි නොහඟින්නේය. කය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. කය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. කය මාගේයයි නොහඟින්නේය. ස්පර්‍ශය මමයයි නොහඟින්නේය. ස්පර්‍ශය කෙරෙහි මා ඇතැයි නො හඟින්නේය. ස්පර්‍ශය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. ස්පර්‍ශය මාගේයයි නොහඟින්නේය. කාය විඤ්ඤාණය මමයයි නොහඟින්නේය. කාය විඤ්ඤාණය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. කාය විඤ්ඤාණය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. කාය විඤ්ඤාණය මාගේයයි නොහඟින්නේය. කාය සම්ඵසසය මමයයි නොහඟින්නේය. කාය සම්ඵස්සය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. කාය සම්ඵස්සය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. කාය සම්ඵස්සය මාගේයයි නොහඟින්නේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද මමයයි නොහඟින්නේය. එය කෙරෙහිද මා ඇතැයි නොහඟින්නේය. එය කෙරෙන්ද අනිකක් මමයයි නොහඟින්නේය. එය මාගේයයි නොහඟින්නේය.
’’මහණෙනි, යමක් මමයයි හඟීද, යමක් කෙරෙහි මා ඇතැයි හඟීද, යමක් කෙරෙන් අනිකක් මමයයි හඟීද, යමක් මාගේයයි හඟීද, එය එයින් අන් ආකාරයක් වෙයි. අන් ආකාරයක් වන්නාවූ භවයෙහි ඇළුනාවූ ලෝකයතෙම භවයටම කැමතිවෙයි.
’’සිත මමයයි නොහඟින්නේය. සිත කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. සිත කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. සිත මාගේයයි නොහඟින්නේය. ධර්‍මයන් මමයයි නොහඟින්නේය. ධර්‍මයන් කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. ධර්‍මයන් කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. ධර්‍මයන් මාගේයයි නොහඟින්නේය. මනෝ විඤ්ඤාණය මමයයි නොහඟින්නේය. මනෝ විඤ්ඤාණය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. මනෝ විඤ්ඤාණය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. මනෝ විඤ්ඤාණය මාගේයයි නොහඟින්නේය. මනෝ සම්ඵස්සය මමයයි නොහඟින්නේය. මනෝ සම්ඵස්සය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. මනෝ සම්ඵස්සය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. මනෝ සම්ඵස්සය මාගේයයි නොහඟින්නේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද මමයයි නොහඟින්නේය. එය කෙරෙහිද මා ඇතැයි නොහඟින්නේය. එය කෙරෙන්ද අනිකක් මමයයි නොහඟින්නේය. එය මාගේයයි නොහඟින්නේය.
’’මහණෙනි, යමක් මමයයි හඟීද, යමක් කෙරෙහි මා ඇතැයි හඟීද, යමක් කෙරෙන් අනිකක් මමයයි හඟීද, යමක් මාගේයයි හඟීද, එය එයින් අන් ආකාරයක් වෙයි. අන් ආකාරයක් වන්නාවූ භවයෙහි ඇළුනාවූ ලෝකයතෙම භවයටම කැමතිවෙයි.
’’මහණෙනි, යම්තාක් ස්කන්‍ධ, ධාතු, ආයතනයෝ වෙත්ද, එය මමයයි නොහඟින්නේය. එය කෙරෙහිද මා ඇතැයි නොහඟින්නේය, එය කෙරෙන් අනිකක්ද මමයයි නොහඟින්නේය. එය මාගේයයි නොහඟින්නේය. මෙසේ නොහඟින්නාවූ හෙතෙම ලෝකයෙහි කිසිවක් මමය, මාගේයයි නොගනියි. මමය, මාගේයයි නොගන්නේ තෘෂ්ණා පිපාසයෙන් පිපාස නොවේ. පිපාසිත නොවන්නේ මේ ආත්මයෙහිම පිරිනිවෙයි. ජාතිය ක්‍සය විය. මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. මේ සතර මාර්‍ගයෙන් කළයුත්ත කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගණීයයි, වදාළ සේක.