සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
10. ඡල වර්‍ගය
4. පමාද සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ ,කලන්‍දක නිවාප, නම්ලත් වේළු (උණ) වණයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන්හට කථාකළ සේක. ‘පින්වතුන් වහන්සැයි’ කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.
’’මහණෙනි, ප්‍රමාදව වාසය කරන්නාවූ පුද්ගලයාද අප්‍රමාදව වාසය කරන්නාවූ පුද්ගලයාද තොපට දෙශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, කෙසේනම් ප්‍රමාදව වාසය කරන්නේ වෙයිද?
’’මහණෙනි, චක්ඛු ඉන්‍ද්‍රියයාගේ සංවරයක් නැතිව වාසය කරන්නහුගේ සිත චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ රූපයන් කෙරෙහි ක්ලේශයන්ගෙන් තෙත්වේ. ඒ ක්ලේශයන්ගෙන් තෙත්වූ සිත් ඇත්තහුගේ ප්‍රමොදය (දුර්‍වල ප්‍රීතිය) නොවෙයි. දුර්‍වල ප්‍රීතිය නැති කල්හි බලවත් ප්‍රීතිය නොවෙයි, බලවත් ප්‍රීතිය නැති කල්හි පසසඬිය (දාහසංසිඳීම) නොවෙයි. පසසඬිය නැති කල්හි දුකසේ වාසය කරයි. දුක් ඇත්තහුගේ සිත එකඟ නොවෙයි. එකඟ නොවූ සිත ඇති කල්හි සමථ විදර්‍ශනා ධර්‍මයෝ පහල නොවෙත්. ධර්‍මයන්ගේ පහල නොවීමෙන් ප්‍රමාදව වාසය කරන්නේය, යන සංඛ්‍යාවට පැමිණේ.
’’මහණෙනි, සෝත ඉන්‍ද්‍රියයේ සංවරයක් නැතිව වාසය කරන්නහුගේ සිත සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ශබ්දයන් කෙරෙහි ක්ලේශයන්ගෙන් තෙත්වේ. ඒ ක්ලේශයන්ගෙන් තෙත්වූ සිත් ඇත්තහුගේ ප්‍රමොදය (දුර්‍වල ප්‍රීතිය) නොවෙයි. දුර්‍වල ප්‍රීතිය නැති කල්හි බලවත් ප්‍රීතිය නොවෙයි, බලවත් ප්‍රීතිය නැති කල්හි පස්සඬිය (දාහසංසිඳීම) නොවෙයි. පස්සඬිය නැති කල්හි දුකසේ වාසය කරයි. දුක් ඇත්තහුගේ සිත එකඟ නොවෙයි. එකඟ නොවූ සිත ඇති කල්හි සමථ විදර්‍ශනා ධර්‍මයෝ පහල නොවෙත්. ධර්‍මයන්ගේ පහල නොවීමෙන් ප්‍රමාදව වාසය කරන්නේය, යන සංඛ්‍යාවට පැමිණේ.
’’මහණෙනි, ඝාණ ඉන්‍ද්‍රියයාගේ සංවරයක් නැතිව වාසය කරන්නහුගේ සිත ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ගන්‍ධයන් කෙරෙහි ක්ලේශයන්ගෙන් තෙත්වේ. ඒ ක්ලේශයන්ගෙන් තෙත්වූ සිත් ඇත්තහුගේ ප්‍රමොදය (දුර්‍වල ප්‍රීතිය) නොවෙයි. දුර්‍වල ප්‍රීතිය නැති කල්හි බලවත් ප්‍රීතිය නොවෙයි, බලවත් ප්‍රීතිය නැති කල්හි පසසඬිය (දාහසංසිඳීම) නොවෙයි. පසසඬිය නැති කල්හි දුකසේ වාසය කරයි. දුක් ඇත්තහුගේ සිත එකඟ නොවෙයි. එකඟ නොවූ සිත ඇති කල්හි සමථ විදර්‍ශනා ධර්‍මයෝ පහල නොවෙත්. ධර්‍මයන්ගේ පහල නොවීමෙන් ප්‍රමාදව වාසය කරන්නේය, යන සංඛ්‍යාවට පැමිණේ.
’’මහණෙනි, ජිව්හා ඉන්‍ද්‍රියයාගේ සංවරයක් නැතිව වාසය කරන්නහුගේ සිත ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ රසයන් කෙරෙහි ක්ලේශයන්ගෙන් තෙත්වේ. ඒ ක්ලේශයන්ගෙන් තෙත්වූ සිත් ඇත්තහුගේ ප්‍රමොදය (දුර්‍වල ප්‍රීතිය) නොවෙයි. දුර්‍වල ප්‍රීතිය නැති කල්හි බලවත් ප්‍රීතිය නොවෙයි, බලවත් ප්‍රීතිය නැති කල්හි පස්සඬිය (දාහසංසිඳීම) නොවෙයි. පස්සඬිය නැති කල්හි දුකසේ වාසය කරයි. දුක් ඇත්තහුගේ සිත එකඟ නොවෙයි. එකඟ නොවූ සිත ඇති කල්හි සමථ විදර්‍ශනා ධර්‍මයෝ පහල නොවෙත්. ධර්‍මයන්ගේ පහල නොවීමෙන් ප්‍රමාදව වාසය කරන්නේය, යන සංඛ්‍යාවට පැමිණේ.
’’මහණෙනි, කාය ඉන්‍ද්‍රියයාගේ සංවරයක් නැතිව වාසය කරන්නහුගේ සිත කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්‍ශයන් කෙරෙහි ක්ලේශයන්ගෙන් තෙත්වේ. ඒ ක්ලේශයන්ගෙන් තෙත්වූ සිත් ඇත්තහුගේ ප්‍රමොදය (දුර්‍වල ප්‍රීතිය) නොවෙයි. දුර්‍වල ප්‍රීතිය නැති කල්හි බලවත් ප්‍රීතිය නොවෙයි, බලවත් ප්‍රීතිය නැති කල්හි පස්සඬිය (දාහසංසිඳීම) නොවෙයි. පස්සඬිය නැති කල්හි දුකසේ වාසය කරයි. දුක් ඇත්තහුගේ සිත එකඟ නොවෙයි. එකඟ නොවූ සිත ඇති කල්හි සමථ විදර්‍ශනා ධර්‍මයෝ පහල නොවෙත්. ධර්‍මයන්ගේ පහල නොවීමෙන් ප්‍රමාදව වාසය කරන්නේය, යන සංඛ්‍යාවට පැමිණේ.
’’මහණෙනි, මනෝ ඉන්‍ද්‍රියයාගේ සංවරයක් නැතිව වාසය කරන්නහුගේ සිත මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්‍මයන් කෙරෙහි ක්ලේශයන්ගෙන් තෙත්වේ. ඒ ක්ලේශයන්ගෙන් තෙත්වූ සිත් ඇත්තහුගේ ප්‍රමොදය (දුර්‍වල ප්‍රීතිය) නොවෙයි. දුර්‍වල ප්‍රීතිය නැති කල්හි බලවත් ප්‍රීතිය නොවෙයි, බලවත් ප්‍රීතිය නැති කල්හි පස්සඬිය (දාහසංසිඳීම) නොවෙයි. පස්සඬිය නැති කල්හි දුකසේ වාසය කරයි. දුක් ඇත්තහුගේ සිත එකඟ නොවෙයි. එකඟ නොවූ සිත ඇති කල්හි සමථ විදර්‍ශනා ධර්‍මයෝ පහල නොවෙත්. ධර්‍මයන්ගේ පහල නොවීමෙන් ප්‍රමාදව වාසය කරන්නේය, යන සංඛ්‍යාවට පැමිණෙයි. මහණෙනි, මෙසේ වනාහි ප්‍රමාදව වාසය කරන්නේ වෙයි.
’’මහණෙනි, කෙසේනම් අප්‍රමාදව වාසය කරන්නේ වේද? මහණෙනි, චකඛු ඉන්‍ද්‍රියයෙහි සංවර ඇතිව වාසය කරන්නහුගේ සිත චකඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ රූපයන් කෙරෙහි කෙලෙසුන්ගෙන් තෙත්නොවෙයි. කෙලෙසුන්ගෙන් තෙත්නොවූ සිත් ඇත්තහුට දුර්‍වල ප්‍රීතිය උපදියි. දුර්‍වල ප්‍රීති උපන්නහුට බලවත් ප්‍රීතිය උපදියි, ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුනු කය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි. එකඟවූ සිත ඇති කල්හි සමථ විදර්‍ශනා ධර්‍මයෝ පහල වෙත්. සමථ විදර්‍ශනා ධර්‍මයන්ගේ පහල වීමෙන් අප්‍රමාදව වාසය කරන්නේය, යන සංඛ්‍යාවට පැමිණේ.
’’මහණෙනි, සොත ඉන්‍ද්‍රියයෙහි සංවර ඇතිව වාසය කරන්නහුගේ සිත සොත විඤ්ඤාණයෙන් දතයුතුවූ ශබ්දයන් කෙරෙහි කෙලෙසුන්ගෙන් තෙත්නොවෙයි. කෙලෙසුන්ගෙන් තෙත්නොවූ සිත් ඇත්තහුට දුර්‍වල ප්‍රීතිය උපදියි. දුර්‍වල ප්‍රීති උපන්නහුට බලවත් ප්‍රීතිය උපදියි, ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුනු කය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි. එකඟවූ සිත ඇති කල්හි සමථ විදර්‍ශනා ධර්‍මයෝ පහල වෙත්. සමථ විදර්‍ශනා ධර්‍මයන්ගේ පහල වීමෙන් අප්‍රමාදව වාසය කරන්නේය, යන සංඛ්‍යාවට පැමිණේ.
’’මහණෙනි, ඝාණෙන්‍ද්‍රියයෙහි සංවර ඇතිව වාසය කරන්නහුගේ සිත ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ගන්‍ධයන් කෙරෙහි කෙලෙසුන්ගෙන් තෙත්නොවෙයි. කෙලෙසුන්ගෙන් තෙත්නොවූ සිත් ඇත්තහුට දුර්‍වල ප්‍රීතිය උපදියි. දුර්‍වල ප්‍රීති උපන්නහුට බලවත් ප්‍රීතිය උපදියි, ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුනු කය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි. එකඟවූ සිත ඇති කල්හි සමථ විදර්‍ශනා ධර්‍මයෝ පහල වෙත්. සමථ විදර්‍ශනා ධර්‍මයන්ගේ පහල වීමෙන් අප්‍රමාදව වාසය කරන්නේය, යන සංඛ්‍යාවට පැමිණේ.
’’මහණෙනි, ජිව්හා ඉන්‍ද්‍රියයෙහි සංවර ඇතිව වාසය කරන්නහුගේ සිත ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ රසයන් කෙරෙහි කෙලෙසුන්ගෙන් තෙත්නොවෙයි. කෙලෙසුන්ගෙන් තෙත්නොවූ සිත් ඇත්තහුට දුර්‍වල ප්‍රීතිය උපදියි. දුර්‍වල ප්‍රීති උපන්නහුට බලවත් ප්‍රීතිය උපදියි, ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුනු කය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි. එකඟවූ සිත ඇති කල්හි සමථ විදර්‍ශනා ධර්‍මයෝ පහල වෙත්. සමථ විදර්‍ශනා ධර්‍මයන්ගේ පහල වීමෙන් අප්‍රමාදව වාසය කරන්නේය, යන සංඛ්‍යාවට පැමිණේ.
’’මහණෙනි, කාය ඉන්‍ද්‍රියයෙහි සංවර ඇතිව වාසය කරන්නහුගේ සිත කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්‍ශයන් කෙරෙහි කෙලෙසුන්ගෙන් තෙත්නොවෙයි. කෙලෙසුන්ගෙන් තෙත්නොවූ සිත් ඇත්තහුට දුර්‍වල ප්‍රීතිය උපදියි. දුර්‍වල ප්‍රීති උපන්නහුට බලවත් ප්‍රීතිය උපදියි, ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුනු කය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි. එකඟවූ සිත ඇති කල්හි සමථ විදර්‍ශනා ධර්‍මයෝ පහල වෙත්. සමථ විදර්‍ශනා ධර්‍මයන්ගේ පහල වීමෙන් අප්‍රමාදව වාසය කරන්නේය, යන සංඛ්‍යාවට පැමිණේ.
’’මහණෙනි, මනින්‍ද්‍රියයෙහි සංවර ඇතිව වාසය කරන්නහුගේ සිත මනො විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්‍මයන් කෙරෙහි කෙලෙසුන්ගෙන් තෙත්නොවෙයි. කෙලෙසුන්ගෙන් තෙත්නොවූ සිත් ඇත්තහුට දුර්‍වල ප්‍රීතිය උපදියි. දුර්‍වල ප්‍රීති උපන්නහුට බලවත් ප්‍රීතිය උපදියි, ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුනු කය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි. එකඟවූ සිත ඇති කල්හි සමථ විදර්‍ශනා ධර්‍මයෝ පහල වෙත්. සමථ විදර්‍ශනා ධර්‍මයන්ගේ පහල වීමෙන් අප්‍රමාදව වාසය කරන්නේය, යන සංඛ්‍යාවට පැමිණේ. මහණෙනි, මෙසේ වනාහි අප්‍රමාදව වාසය කරන්නේ වේයයි., වදාළ සේක