සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

10. ඡල වර්‍ගය

5. සංවර සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ ,කලන්‍දක නිවාප, නම්ලත් වේළු (උණ) වණයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන්හට කථාකළ සේක. ‘පින්වතුන් වහන්සැයි’ කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.

’’මහණෙනි, තොපට සංවරයද අසංවරයද දේශනා කරන්නෙමි, එය අසව්. මහණෙනි, කෙසේනම් අසංවරය වේද, මහණෙනි, චකඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයෙන් යුක්තවූ ඇලුම් කරන්නාවූ රූපයෝ වෙත්. ඉදින් මහණතෙම එය ප්‍රිය කරයිද, එය ප්‍රියයයි මනාපයයි කියාද, එහි ගැලී සිටීද, මහණෙනි, භික්‍ෂුව විසින් මෙය කුශල ධර්‍මයන්ගෙන් පිරිහීමයයි දතයුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය පිරිහීමයයි වදාළේයයි දතයුතුයි.

’’මහණෙනි, සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයෙන් යුක්තවූ ඇලුම් කරන්නාවූ ශබ්දයෝ වෙත්. ඉදින් මහණතෙම එය ප්‍රිය කරයිද, එය ප්‍රියයයි මනාපයයි කියාද, එහි ගැලී සිටීද, මහණෙනි, භික්‍ෂුව විසින් මෙය කුශල ධර්‍මයන්ගෙන් පිරිහීමයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය පිරිහීමයයි වදාරණ ලදී.

’’මහණෙනි, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයෙන් යුක්තවූ ඇලුම් කරන්නාවූ ගන්‍ධයෝ වෙත්. ඉදින් මහණතෙම එය ප්‍රිය කරයිද, එය ප්‍රියයයි මනාපයයි කියාද, එහි ගැලී සිටීද, මහණෙනි, භික්‍ෂුව විසින් මෙය කුශල ධර්‍මයන්ගෙන් පිරිහීමයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය පිරිහීමයයි වදාරණ ලදී.

’’මහණෙනි, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයෙන් යුක්තවූ ඇලුම් කරන්නාවූ රසයෝ වෙත්. ඉදින් මහණතෙම එය ප්‍රිය කරයිද, එය ප්‍රියයයි මනාපයයි කියාද, එහි ගැලී සිටීද, මහණෙනි, භික්‍ෂුව විසින් මෙය කුශල ධර්‍මයන්ගෙන් පිරිහීමයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය පිරිහීමයයි වදාරණ ලදී.

’’මහණෙනි, කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයෙන් යුක්තවූ ඇලුම් කරන්නාවූ ස්පර්‍ශයෝ වෙත්. ඉදින් මහණතෙම එය ප්‍රිය කරයිද, එය ප්‍රියයයි මනාපයයි කියාද, එහි ගැලී සිටීද, මහණෙනි, භික්‍ෂුව විසින් මෙය කුශල ධර්‍මයන්ගෙන් පිරිහීමයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය පිරිහීමයයි වදාරණ ලදී.

’’මහණෙනි, මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයෙන් යුක්තවූ ඇලුම් කරන්නාවූ ධර්‍මයෝ වෙත්. ඉදින් මහණතෙම එය ප්‍රිය කරයිද, එය ප්‍රියයයි මනාපයයි කියාද, එහි ගැලී සිටීද, මහණෙනි, භික්‍ෂුව විසින් මෙය කුශල ධර්‍මයන්ගෙන් පිරිහීමයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය පිරිහීමයයි වදාරණ ලදී. මහණෙනි, මෙසේ වනාහි අසංවරය වෙයි.

’’මහණෙනි, කෙසේනම් සංවරය වේද, මහණෙනි, චකඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇලුම් කරන්නාවූ රූපයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එයට ප්‍රිය නොවේද, එය ප්‍රියයයි මනාපයයි නොකියාද, එහි ගිලී නොසිටීද, මහණෙනි, භික්‍ෂුව විසින් මෙය කුශල ධර්‍මයන්ගෙන් නොපිරිහීමයයි දතයුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොපිරිහීමයයි වදාරණ ලදී.

’’මහණෙනි, සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇලුම් කරන්නාවූ ශබ්දයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එයට ප්‍රිය නොවේද, එය ප්‍රියයයි මනාපයයි නොකියාද, එහි ගිලී නොසිටීද, මහණෙනි, භික්‍ෂුව විසින් මෙය කුශල ධර්‍මයන්ගෙන් නොපිරිහීමයයි දතයුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොපිරිහීමයයි වදාරණ ලදී.

’’මහණෙනි, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇලුම් කරන්නාවූ ගන්‍ධයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එයට ප්‍රිය නොවේද, එය ප්‍රියයයි මනාපයයි නොකියාද, එහි ගිලී නොසිටීද, මහණෙනි, භික්‍ෂුව විසින් මෙය කුශල ධර්‍මයන්ගෙන් නොපිරිහීමයයි දතයුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොපිරිහීමයයි වදාරණ ලදී.

’’මහණෙනි, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇලුම් කරන්නාවූ රසයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එයට ප්‍රිය නොවේද, එය ප්‍රියයයි මනාපයයි නොකියාද, එහි ගිලී නොසිටීද, මහණෙනි, භික්‍ෂුව විසින් මෙය කුශල ධර්‍මයන්ගෙන් නොපිරිහීමයයි දතයුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොපිරිහීමයයි වදාරණ ලදී.

’’මහණෙනි, කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇලුම් කරන්නාවූ ස්පර්‍ශයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එයට ප්‍රිය නොවේද, එය ප්‍රියයයි මනාපයයි නොකියාද, එහි ගිලී නොසිටීද, මහණෙනි, භික්‍ෂුව විසින් මෙය කුශල ධර්‍මයන්ගෙන් නොපිරිහීමයයි දතයුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොපිරිහීමයයි වදාරණ ලදී.

’’මහණෙනි, මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇලුම් කරන්නාවූ ධර්‍මයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එයට ප්‍රිය නොවේද, එය ප්‍රියයයි මනාපයයි නොකියාද, එහි ගිලී නොසිටීද, මහණෙනි, භික්‍ෂුව විසින් මෙය කුශල ධර්‍මයන්ගෙන් නොපිරිහීමයයි දතයුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොපිරිහීමයයි වදාරණ ලදී. මහණෙනි, මෙසේ වනාහි සංවරය වේයයි, වදාළ සේක