සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

3. මාතුගාම සංයුත්තය

1. පළමුවෙනි වර්ගය

3. ආවේණික සූත්‍රය

(මේ සූත්‍රයද මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දෙශනා කරනලදී.)

“මහණෙනි, පුරුෂයන් හැර ස්ත්‍රියටම සාධාරණවූ ස්ත්‍රියම විඳින්නාවූ මේ දුක් පසක් වෙයි. කවර පසක්ද යත්, මහණෙනි, මේ ලෝකයෙහි ස්ත්‍රිය ළාබාල කාලයෙහිම ස්වාමිකුලයට යයි. නෑයින්ගෙන් වෙන් වෙයි. මහණෙනි, පුරුෂයන් හැර ස්ත්‍රියටම සාධාරණවූ මේ පළමුවැනි දුක ස්ත්‍රිය විඳියි.

“තවද මහණෙනි, ස්ත්‍රිය ඍතුනියක් වෙයි. මහණෙනි, මේ ස්ත්‍රියටම සාධාරණවූ දෙවෙනි දුක පුරුෂයන් හැර ස්ත්‍රියම විඳියි. තවද, මහණෙනි, ස්ත්‍රිය ගර්භනී වෙයි. මහණෙනි, මේ ස්ත්‍රියටම සාධාරණවූ තුන් වැනි දුක පුරුෂයන් හැර ස්ත්‍රියම විඳියි. තවද මහණෙනි, ස්ත්‍රිය දරුවන් වදයි. මහණෙනි, මේ ස්ත්‍රියටම සාධාරණවූ සතරවැනි දුක පුරුෂයන් හැර ස්ත්‍රියම විඳියි. තවද මහණෙනි, ස්ත්‍රිය පුරුෂයාට උපස්ථාන කරන්නියක් බවට පැමිණෙයි. මහණෙනි, මේ ස්ත්‍රියටම සාධාරණවූ පස්වැනි දුක පුරුෂයන් හැර ස්ත්‍රියම අනුභව කරයි.”