සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
4. ජම්බුඛාදක සංයුත්තය
13. භව සූත්‍රය
“ඇවැත්නි, ශාරීපුත්‍රය, භවය භවයයි කියනු ලැබේ. ඇවැත්නි, භවය කවරේද?”
“ඇවැත්නි, මේ භව තුනකි. කාම භවය, රූප භවය, අරූප භවය යන තුනයි. ඇවැත්නි, මේ තුන් භවයෝයි.”
“ඇවැත්නි, මේ භවයන් පිරිසිඳ දැනීම පිණිස මාර්ගයක් ඇත්තේද, ප්‍රතිපදාවක් ඇත්තේද?”
“ඇවැත්නි, මේ භවයන්ගේ පිරිසිඳ දැනගැනීමට මාර්ගයක් ඇත්තේය. ප්‍රතිපදාවක් ඇත්තේය.” “මේ භවයන්ගේ පිරිසිඳ දැනීම පිණිස මාර්ගය කවරේද, ප්‍රතිපදාව කවරේද,”
“මේ භවයන්ගේ පිරිසිඳ දැනීමට සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන ආර්යඅෂ්ටාඩ්ගික මාර්ගය වෙයි. ප්‍රතිපදාව වෙයි. ඇවැත්නි, මේ භවයන් පිරිසිඳ දැනීම පිණිස මේ මාර්ගය වෙයි. ප්‍රතිපදාව වෙයි.”
“ඇවැත්නි, මේ භවයන්ගේ පිරිසිඳ දැනීම පිණිස යහපත් මාර්ගයක්ය, හොඳ ප්‍රතිපදාවක්ය. ඇවැත්නි ශාරිපුත්‍රය, අප්‍රමාදයටද සුදුසුය.”