සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
6. මොග්ගල්ලාන සංයුත්තය
6. විඤ්ඤාණඤ්චායතන සූත්‍රය
“විඤ්ඤාණඤ්චායතනය විඤ්ඤාණඤ්චායතනයයි කියනු ලැබේ. විඤ්ඤාණඤ්චායතනය කවරේද? ඇවැත්නි, ඒ මට මෙසේ සිත්විය. මේ ශාසනයෙහි මහණතෙම සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ පැමිණ වාසය කරයිද, මේ විඤ්ඤාණඤ්චායතනයයි කියනු ලැබේ.
“ඇවැත්නි, ඒ මම සර්වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරමි. ඇවැත්නි, මේ විහරණයෙන් වාසය කරන්නාවූ ඒ මට ආකාසානඤ්චායතන සහගතවූ සංඥා මනසිකාරයෝ උපදිත්.
“ඇවැත්නි, ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ ඍද්ධියෙන් මා කරා පැමිණ මෙසේ වදාළසේක. මොග්ගල්ලානය, මොග්ගල්ලානය බ්‍රාහ්මණය, විඤ්ඤාණඤ්චායතනයෙහි ප්‍රමාද නොවව. විඤ්ඤාණඤ්චායතනයෙහි සිත පිහිටුව. විඤ්ඤාණඤ්චායතනයෙහි සිත එකඟ කරව. විඤ්ඤාණඤ්චායතනයෙහි සිත තබව.
“ඇවැත්නි, ඒ මම පසුව සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරමි. ඇවැත්නි, යම් ශ්‍රාවකයෙකුට ශාස්තෲන්වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකතෙම මහත් නුවණැති බවට පැමිණියේයයි කියන්නේ නම්, ශාස්තෘන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවක තෙම මහත් නුවණැති බවට පැමිණියේයයි ඒ මා උදෙසා මනාකොට කියන්නේය.”