සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
9. අසංඛත සංයුත්තය
1. පළමුවෙනි වර්ගය
1. කායගතාසති සූත්‍රය
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු මහසිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] “මහණෙනි තොපට අසංඛත (නිර්වාණයද,) අසංඛත ගාමී (නිවනට පැමිණෙන) මගද දේශනා කරන්නෙමි එය අසව්. මහණෙනි, අසංඛතය කවරේද? මහණෙනි, යම් රාගය ක්ෂයවීමක් වේද, යම් දොෂය ක්ෂයවීමක් වේද, මෝහය ක්ෂයවීමක් වේද මහණෙනි, මේ අසංඛතයයි කියනු ලැබේ.
[3] “මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මහණෙනි, මේ කායගතාසතිය අසංඛතගාමී මාර්ගයයයි.
[4] “මහණෙනි, මා විසින් මෙසේ තොපට අසංඛතයත් දේශනා කරනලදී. අසංඛතගාමී මගත් දෙශනා කරනලදී. මහණෙනි, ශ්‍රාවකයන්ගේ හිතවැඩ කැමැත්තාවූ අනුකම්පා කරන්නාවූ ශාස්තෲවරයකු විසින් කටයුතුද, එය මා විසින් තොපට කරනලදී. මහණෙනි, අර වෘක්ෂමූලයෝ වෙත්. ශුන්‍යාගාරයෝ වෙත් භාවනා කරව්. මහණෙනි, ප්‍රමාද නොවව්. පසුව විපිළිසර නොවව්. තොපට මේ අපගේ අනුශාසනයයි.”
(මේ වර්ගයේ සූත්‍ර සියල්ලේම 1, 2, 4 වෙනි ඡෙද මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 1, 2, 4 වෙනි ඡෙද මෙන් වේ. වෙනස් වන 3 වෙනි ඡෙද පමණක් දක්වා ඇත.)