සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
10. අව්‍යාකත සංයුත්තය
1. ඛෙම සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනයෙහි අනේපිඬු මහ සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වාසය කරන සේක. එකල්හි ඛෙමා භික්ෂුණිය කොසොල් ජනපදයෙහි ඇවිදින්නී සැවැත් නුවරටද, සාකෙත නුවරටද අතර තොරණවත්ථු නම් ස්ථානයෙහි වාසයට පැමිණියාය එකල්හි පසේනදී කොසොල් රජතෙමේ සාකෙතනුවරින් සැවැත්නුවරට යන්නේ සැවැත් නුවරටද, සාකෙතනුවරටද අතර පිහිටි තොරණවත්ථුවෙහි එක් රැයක් විසීමට පැමිණියේය. එකල්හි පසේනදීකොසොල් රජතෙමේ එක්තරා පුරුෂයෙකුට කතාකළේය. කථාකොට “එම්බල පුරුෂය, යව ඔබ අද මට (පයුරුපාසනය කිරීමට) සේවනය කිරීමට සුදුසුවූ ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ දනුවයි” කීයේය. ඒ පුරුෂතෙම “එසේය දේවයන් වහන්සැයි” පසෙනදී කොසොල් රජුට උත්තරදී තොරණවත්ථුව මුළුල්ලෙහි පිළිවෙළින් ඇවිදින්නේ පසේනදී කොසොල් රජුහට පයුරුපාසනය කිරීමට (සේවනය කිරීමට) සුදුසු ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ නුදුටුයේය.
ඒ පුරුෂතෙම තොරණ වත්ථුවෙහි වාසයට පැමිණි ඛෙමා භික්ෂුණිය දුටුයේය. දැක පසේනදී කොසොල් රජතෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ පසේනදී කොසොල්රජුට “දේවයන් වහන්සේට සේවනය කිරීමට සුදුසුවූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ තොරණවත්ථුවෙහි නැතැයි” කීයේය. “දේවයන් වහන්ස, ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ ශ්‍රාවිකාවක්වූ ඛෙමා නම් භික්ෂුණියක් ඇත්තේය. පණ්ඩිතය ව්‍යක්තය, නුවණැත්තිය, බහුශ්‍රැතය, විසිතුරු කථා ඇත්තීය. යහපත් වැටහෙණ නුවණ ඇත්තීයයි ඒ ආර්යාවගේ මෙබඳු යහපත් කීර්ති ශබ්දයක් පැනනැංගේය. දේවයන් වහන්සේ ඈ ආශ්‍රය කරණ සේක්වායි” කීය.
ඉක්බිති පසේනදී කොසොල් රජතෙම ඛෙමා භික්ෂුණිය යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ ඛෙමා භික්ෂුණිය වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් පසේනදී කොසොල් රජතෙමේ ඛෙමා භික්ෂුණියට “ආර්යාවෙනි’ කිමෙක්ද තථාගතයන් මරණින්මතු වේදැයි” ඇසීය. - “මහරජ, තථාගතයන් වහන්සේ මරණින්මතු වේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය ප්‍රකාශ නොකරන ලදී.”
“ආර්යාවෙනි, කිමෙක්ද, තථාගතයන් වහන්සේ මරණින් මතු නොවේද?” - “මහරජ, තථාගතයන් වහන්සේ මරණින් මතු නොවේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙයද නොවදාරණ ලදී.”
“කිමෙක්ද ආර්යාවෙනි, තථාගතයන් වහන්සේ මරණින් මතු වේද නොවේද?”
“මහරජ, තථාගතයන් වහන්සේ මරණින් මතු වෙයිද නොවෙයිද කියා භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොවදාරණ ලදී.”
“ආර්යාවෙනි, කිමෙක්ද? තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙයිද නොවන්නේ නොවෙයිද?” “මහරජ තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙයි නොවන්නේ නොවෙයි කියා භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ නොකරණ ලදී.”
“ආර්යාවෙනි, කිමෙක්ද තථාගතයන් වහන්සේ මරණින් මතු වේදැයි විචාරණ ලද්දේ ‘මහරජ තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ නොකරන ලද්දේයයි’ කීයෙහිය.
“කිමෙක්ද? ආර්යයන් වහන්ස, තථාගතයන් වහන්ස මරණින් මතු නොවේදැයි මෙසේ විචාරණ ලද්දේ. මහරජ තථාගතයන් වහන්සේ මරණින් මතු නොවේයයි මෙයද භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ නොකරන ලද්දේයයි කීයෙහිය.
“කිමෙක්ද? ආර්යාවෙනි, තථාගතයන්වහන්සේ මරණින් මතු වෙයිද නොවෙයිදැයි. මෙසේ අසන ලද්දේ ‘මහරජ භග්‍යවතුන් වහන්සේ විසින් මරණින් මතු වෙයිද නොවෙයි දැයි මෙයද තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්දේයයි’ කීයෙහිය.
“ආර්යාවෙනි, කිමෙක්ද? තථාගතයන්වහන්සේ මරණින් මතු නොවෙයිද, නොවන්නේ නෙවෙයිදැයි මෙසේ විචාරණ ලද්දේ, ‘මහරජ, තථාගතයන්වහන්සේ මරණින් මතු නොවෙයි නොවන්නේද නොවේයයි මෙයද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරණ ලද්දේයයි” කීයෙහිය.
“ආර්යාවෙනි, යමක් නිසා එය භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරණ ලද්දේනම්, ඊට හේතු කවරේද? ඊට ප්‍රත්‍ය කවරේද?
“මහරජ, එසේනම් මෙහි තොපම විචාරන්නෙමි. යම්සේ තොපට වැටහේනම් එසේ එය ප්‍රකාශ කරන්නෙහිය. මහරජ, ඒ කුමකැයි හඟින්නෙහිද? තොපගේ ගණන් තබන්නෙක් හෝ (ඇඟිලි) මුද්‍රාවෙන් ගණන් කිරීමට දක්ෂයෙක් හෝ කොටස් ගණනින් ගණන් කිරීමට දක්ෂයෙක් හෝ වැලි මෙපමණයයි කියා හෝ මෙතෙක් වැලි සියයක්ය කියා හෝ මෙපමණ වැලි දහසක්ය කියා හෝ මෙපමණ වැලි ලක්ෂයක්ය කියා හෝ ගඟෙහි වැලි ගණන් කිරීමට සමර්ථවූ කිසිවෙක් ඇත්තේද?
“ආර්යාවෙනි, නැත.
“තොපගේ ගණන් කරන්නෙක් හෝ (ඇඟිලි) මුද්‍රාවෙන් ගණන් කරන්නෙක් හෝ කොටස් ගණනකින් ගණන් කරන්නෙක් හෝ මෙපමණ ජල ලාස්යයි කියා හෝ මෙපමණ ජල ලාස් සියයක්ය කියා හෝ මෙපමණ ජල ලාස් දහසක්ය කියා හෝ මෙපමණ ජල ලාස් ලක්ෂයක්ය කියා හෝ මහා සමුද්‍රයෙහි ජලය මනින්ට සමර්ථවූ කිසිවෙක් ඇත්තේද?”-“ආර්යාවෙනි නැත.”
“ඊට හේතු කවරේද?”-“ආර්යාවෙනි, සමුද්‍රය විශාලය ගැඹුරුය, අප්‍රමාණය, දැන ගැනීමට අපහසුය”
“මහරජ, ‘එසේම යම් රූපයක් කරනකොටගෙන තථාගතයන් වහන්සේ සත්වයකු වශයෙන් පෙනේද, ඒ රූපය තථාගතයන් වහන්සේ විසින් පහ කරන ලදී. මුල් සිඳින ලදී. කරටිය සිඳි තල් ගසක්මෙන් කරන ලදී. අභාවයට යවන ලදී. මතු නූපදින තත්වයට කරන ලදී. මහරජ රූප සංඛ්‍යාවෙන් මිදුනාවූ තථාගතයන් වහන්සේ ගැඹුරුය, අප්‍රමාණය, දැනගැනීමට අපහසුය. ඒ හෙයින් තථාගතයන් වහන්සේ මරණින් මතුවේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවේයයි කීමටද නුසුදුසුය තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයිද නොවේයයිද කීමට නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙයි. නොවන්නේ නොවෙයි කියා කියා කීමටද නුසුදුසුයි.
“මහරජ, එසේම යම් වේදනාවක් කරණකොට ගෙන තථාගතයන් වහන්සේ සත්වයකු වශයෙන් පෙනේද, ඒ වේදනාව තථාගතයන් වහන්සේ විසින් පහකරන ලදී. මුල් සිඳිනලදී. කරටිය සිඳි තල් ගසක්මෙන් කරන ලදී. අභාවයට යවන ලදී. මතු නූපදින තත්ත්වයට කරන ලදී. මහරජ, වේදනා සංඛ්‍යාවෙන් මිදුනාවූ තථාතයන් වහන්සේ ගැඹුරුය, අප්‍රමාණය, දැනගැනීමට අපහසුය. ඒ හෙයින් තථාගතයන් වහන්සේ ‘මරණින්මතු වේයයි කීමටද නුදුසුය. තථාගතයන් වහන්සේ මරණින්මතු නොවේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයිද, නොවේයයිද කීමට නුසුදුසුය තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙයි. නොවන්නේ නොවෙයි කියා කීමටද නුසුදුසුයි.
“මහරජ, එසේම යම් සංඥාවක් කරණකොට ගෙන තථාගතයන්වහන්සේ සත්වයකු වශයෙන් පෙනේද, ඒ සංඥාව තථාගතයන් වහන්සේ විසින් පහකරන ලදී. මුල් සිඳින ලදී. කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරන ලදී. අභාවයට යවන ලදී. මතු නූපදින තත්ත්වයට කරන ලදී. මහරජ, සංඥා සංඛ්‍යාවෙන් මිදුනාවූ තථාගතයන් වහන්සේ ගැඹුරුය, අප්‍රමාණය, දැනගැනීමට අපහසුය. ඒ හෙයින් තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයි කීමටද නුසුදුසුය තථාගතයන් වහන්සේ මරණින් මතු නොවේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයිද නොවේයයිද කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙයි. නොවන්නේ නොවෙයි කියා කීමටද නුසුදුසුයි.
“මහරජ, එසේම යම් සංස්කාරයක් කරනකොට ගෙන තථාගතයන් වහන්සේ සත්වයකු වශයෙන් පෙනේද, ඒ සංස්කාරය තථාගතයන් වහන්සේ විසින් පහකරන ලදී. මුල් සිඳින ලදී. කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරන ලදී. අභාවයට යවන ලදී. මතු නූපදින තත්වයට කරන ලදී. මහරජ, සංස්කාර සංඛ්‍යාවෙන් මිදුනාවූ තථාගතයන් වහන්සේ ගැඹුරුය, අප්‍රමාණය, දැනගැනීමට අපහසුය. ඒ හෙයින් තථාගතයන් වහන්සේ ‘මරණින් මතු වේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයිද,නොවේයයිද කීමට නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙයි’ නොවන්නේ නොවෙයි කියා කීමටද නුසුදුසුය.
“මහරජ, එසේම යම් විඤ්ඤාණයක් කරනකොට ගෙන තථාගතයන් වහන්සේ සත්වයකු වශයෙන් පෙනේද, ඒ විඤ්ඤාණය තථාගතයන් වහන්සේ විසින් පහකරන ලදී. මුල් සිඳින ලදී. කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරනලදී. මතු නූපදින තත්වයට කරන ලදී. මහරජ, විඤ්ඤාණය සංඛ්‍යාවෙන් මිදුනාවූ තථාගතයන් වහන්සේ ගැඹුරුය, අප්‍රමාණය, දැන ගැනීමට අපහසුය. ඒ හෙයින් තථාගතයන් වහන්සේ ‘මරණින් මතු වේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයිද නොවේයයිද කීමට නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙයි. නොවන්නේ නොවෙයි කීමටද නුසුදුසුයි.
ඉක්බිති පසේනදී කොසොල් රජතෙම ඛෙමා භික්ෂුණිගේ වචනයට සතුටුව අනුමෝදන්ව හුන් අස්නෙන් නැගිට ඛෙමා භික්ෂුණිය වැඳ ගරුකොට ගියේය.
“ඉක්බිති පසෙනදී කොසොල්රජ පසු කලෙක භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන් පසෙනදී කොසොල් රජතෙම භාග්‍යවතුන් වහන්සේගෙන් ‘ස්වාමීනි, කිමෙක්ද? තථාගතයන් වහන්සේ මරණින් මතු වන්නේදැයි” ඇසීය.
“මහරජ, තථාගත තෙමේ මරණින් මතු වේයයි මෙය මා විසින් ප්‍රකාශ නොකරන ලදී.”
“ස්වාමීනි, කිමෙක්ද? තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙත්ද?”
“මහරජ, තථාගත තෙමේ මරණින් මතු නොවේයයිද මා විසින් ප්‍රකාශ නොකරනලදී.”
“ස්වාමීනි, කිමෙක්ද? තථාගතයන් වහන්සේ මරණින් මතු වන්නේත් නොවෙත්ද, නොවන්නේත් නොවෙත්ද?”
“මහරජ, තථාගතයන් වහන්සේ මරණින් මතු වන්නේත් නොවෙත්, නොවන්නේත් නොවෙත් කියාද මා විසින් ප්‍රකාශ නොකරන ලදී.”
“ස්වාමීනි, කිමෙක්ද? ‘තථාගතයන් වහන්සේ මරණින් මතු වේදැයි’ මෙසේ විචාරණ ලද්දේ ‘මහරජ, මා විසින් තථාගත තෙමේ මෙසේ මරණින් මතු වන්නේය යන මෙයද මා විසින් නොවදාරණ ලද්දේයයි’ කීයෙහිය.
“ස්වාමීනි, කිමෙක්ද? තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙත්දැයි මෙසේ විචාරණ ලද්දේ, ‘මහරජ, මා විසින් තථාගතතෙම මරණින් මතු නොවන්නේය යන මෙයද මා විසින් නොවදාරණ ලද්දේයයි’ කීයෙහිය.
“ස්වාමීනි, කිමෙක්ද? තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙයිද නොවන්නේ නොවෙයිදැයි මෙසේ විචාරණ ලද්දේ, ‘මහරජ, තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙයි නොවන්නේද නොවේමයි මෙයද මා විසින් නොවදාරණ ලද්දේයයි’ කීයෙහිය.
“යමක් නිසා එය භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරණ ලද්දේද? ඊට හේතු කවරේද? ඊට ප්‍රත්‍ය කවරේද?”
“මහරජ, එසේවීනම් මෙහි තොපම විචාරමි. යම්සේ තොපට යම්සේ වැටහේනම් එසේ එය ප්‍රකාශ කරන්නෙහිය. මහරජ, ඒ කුමකැයි හඟින්නේද? යමෙක් ගංගාවෙහි මෙතෙක් වැලියයි කියා හෝ මෙතෙක් වැලි සියයක්ය කියා මෙපමණ වැලි දහසක්ය කියා හෝ මෙපමණ වැලි ලක්ෂයක්ය කියා හෝ ගඟෙහි වැලි ගණන් කිරීමට සමර්ථ තොපගේ කිසියම් ගණකයෙක් හෝ ඇඟිලි මුද්‍රිකාවෙන් ගණින්නෙක් හෝ කොටස් වශයෙන් ගණන්කරන්නෙක් හෝ වේද? “ස්වාමීනි, නැත.”
“තොපගේ ගණන් කරන්නෙක් හෝ (ඇඟිලි) මුද්‍රාවෙන් ගණන් කරන්නෙක් හෝ කොටස් ගණනකින් ගණන් කරන්නෙක් හෝ මහා සමුද්‍රයෙහි ජලය මෙපමණ ජල ලාස් ගණනක්ය කියා හෝ මෙපමණ ජල ලාස් සියයක්ය කියා හෝ මෙපමණ ජල ලාස් දහසක්ය කියා හෝ මෙපමණ ජල ලාස් ලක්ෂයක්ය කියා හෝ ප්‍රමාණ කරන්නට සමර්ථ වේද? “ස්වාමීනි, නැත.”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි. සමුද්‍රය විශාලය, ගැඹුරුය, අප්‍රමාණය, බැසගැන්මට නොහැක.”
“මහරජ, ‘එසේම යම් රූපයක් කරණකොටගෙන තථාගතයන් වහන්සේ සත්වයකු වශයෙන් පෙනේද, ඒ රූපය තථාගතයන් වහන්සේ විසින් පහ කරන ලදී, මුල් සිඳින ලදී. කරටිය සිඳි තල් ගසක්මෙන් කරන ලදී. අභාවයට යවන ලදී. මතු නූපදින තත්ත්වයට කරන ලදී. මහරජ රූප සංඛ්‍යාවෙන් මිදුණාවූ තථාගතයන් වහන්සේ සමුද්‍රය මෙන් ගැඹුරුය, අප්‍රමාණය, දැනගැනීමට අපහසුය. ඒ හෙයින් තථාගතයන් වහන්සේ ‘මරණින් මතුවේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයිද නොවේයයිද කීමට නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙයි, නොවන්නේ නොවෙයි කියා කීමටද නුසුදුසුයි.
“මහරජ, එසේම යම් වේදනාවක් කරණකොට ගෙන තථාගතයන් වහන්සේ සත්වයකු වශයෙන් පෙනේද, ඒ වේදනාව තථාගතයන් වහන්සේ විසින් පහකරන ලදී. මුල් සිඳිනලදී. කරටිය සිඳි තල් ගසක්මෙන් කරන ලදී. අභාවයට යවන ලදී. මතු නූපදින තත්ත්වයට කරන ලදී. මහරජ, වේදනා සංඛ්‍යාවෙන් මිදුණාවූ තථාගතන් වහන්සේ සමුද්‍රය මෙන් ගැඹුරුය, අප්‍රමාණය, දැනගැනීමට අපහසුය. ඒ හෙයින් තථාගතයන් වහන්සේ ‘මරණින්මතු වේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයිද, නොවේයයිද කීමට නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙයි. නොවන්නේ නොවෙයි කියා කීමටද නුසුදුසුයි.
“මහරජ, එසේම යම් සංඥාවක් කරණකොට ගෙන තථාගතයන් වහන්සේ සත්වයකු වශයෙන් පෙනේද, ඒ සංඥාව තථාගතයන් වහන්සේ විසින් පහකරන ලදී. මුල් සිඳින ලදී. කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරන ලදී. අභාවයට යවන ලදී. මතු නූපදින තත්ත්වයට කරන ලදී. මහරජ, සංඥා සංඛ්‍යාවෙන් මිදුණාවූ තථාගතයන් වහන්සේ සමුද්‍රය මෙන් ගැඹුරුය, අප්‍රමාණය, දැනගැනීමට අපහසුය. ඒ හෙයින් තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයිද නොවේයයිද කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙයි. නොවන්නේ නෙවෙයි කියා කීමටද නුසුදුසුයි.
“මහරජ, එසේම යම් සංස්කාරයක් කරණකොට ගෙන තථාගතයන් වහන්සේ සත්වයකු වශයෙන් පෙනේද, ඒ සංස්කාරය තථාගතයන් වහන්සේ විසින් පහකරන ලදී. මුල් සිඳින ලදී. කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරන ලදී. අභාවයට යවන ලදී. මතු නූපදින තත්වයට කරන ලදී. මහරජ, සංස්කාර සංඛ්‍යාවෙන් මිදුනාවූ තථාගතයන් වහන්සේ සමුද්‍රය මෙන් ගැඹුරුය, අප්‍රමාණය, දැනගැනීමට අපහසුය. ඒ හෙයින් තථාගතයන් වහන්සේ ‘මරණින් මතු වේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයිද නොවේයයිද කීමට නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙයි. නොවන්නේ නොවෙයි කියා කීමටද, නුසුදුසුය.
“මහරජ, එසේම යම් විඤ්ඤාණයක් කරණකොට ගෙන තථාගතයන් වහන්සේ සත්වයකු වශයෙන් පෙනේද, ඒ විඤ්ඤාණය තථාගතයන් වහන්සේ විසින් පහකරන ලදී. මුල් සිඳින ලදී. කරටිය සිඳිනලද තල් ගක් මෙන් කරනලදී. මතු නූපදින තත්ත්වයට කරන ලදී. මහරජ, විඤ්ඤාණ සංඛ්‍යාවෙන් මිදුණාවූ තථාගතයන් වහන්සේ සමුද්‍රය මෙන් ගැඹුරුය, අප්‍රාණය, දැනගැනීමට අපහසුය. ඒ හෙයින් තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයිද නොවේයයිද කීමට නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙයි නොවන්නේ නොවෙයි කීමටද නුසුදුසුයි.”
“ස්වාමීනි, ආශ්චර්යය ස්වාමීනි, අද්භූතය යම් හෙයකින් ශාස්තෲන් වහන්සේගේද, ශ්‍රාවිකාවගේද දෙශනාවෙහි අර්ථයෙන් අර්ථයද, ව්‍යංජනයෙන් ව්‍යංජනයද, වචනයෙන් වචනයද, සංසන්දනය වෙයි. සමවෙයි. ස්වාමීනි, මම එක් අවස්ථාවක ඛෙමා භික්ෂුණිය කරා පැමිණ මේ කරුණ ප්‍රශ්න කෙළෙමි. මට ඒ ආර්යාතොමෝද භාග්‍යවතුන් වහන්සේ යම්සේද, මේ පදයන්ගෙන් මේ ව්‍යංජනයන්ගෙන් මේ කාරණය ප්‍රකාශ කළාය. ස්වාමීනි, ආශ්චර්යයි. ස්වාමීනි, අද්භූතයි. ශාස්තෲන් වහන්සේගේද, ශ්‍රාවිකාවන්ගේද දෙශනාවෙහි අර්ථයෙන් අර්ථයද ව්‍යංජනයෙන් ව්‍යංජනයද, වචනයෙන් වචනයද සංසන්දනය වන්නේය. සමවන්නේය.
“ස්වාමීනි, දැන් අපි යන්නෙමු. අපි බොහෝ වැඩ ඇත්තෝවෙමු. බොහෝ කටයුතු ඇත්තෝ වෙමුයි” කීය. “මහරජ, දැන් ඔබ ඊට කාලය දනුවයි” වදාළසේක. ඉක්බිති පසෙනදී කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ ගරුකොට ගියේය.