සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

10. අව්‍යාකත සංයුත්තය

2. අනුරාධ සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩ සිටින සේක. එකල්හි වනාහි ආයුෂ්මත් අනුරාධ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට නුදුරුවූ වනකුටියක වාසය කරයි. ඉක්බිති බොහෝ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ ආයුෂ්මත් අනුරාධ ස්ථවිරයන් වහන්සේ යම්තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ ආයුෂ්මත් අනුරාධ ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වූවාහුය. සතුටුවිය යුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පසෙක හුන්නාහුය. එක්පසෙක හුන් ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ ආයුෂ්මත් අනුරාධ තෙරුන්ගෙන් ඇවැත් අනුරාධයෙනි, උත්තම පුරුෂවූ පරම පුරුෂවූ ශ්‍රෙෂ්ඨ පැමිණීමට පැමිණියාවූ යම් ඒ තථාගත කෙනෙක් වේද, ඔහු තථාගතතෙමේ මරණින් මතු වේයයි කියා හෝ තථාගත තෙමේ මරණින් මතු නොවේයයි කියා හෝ තථාගත තෙමේ මරණින් මතු වන්නේද වෙයි නොවන්නේද වෙයි කියා හෝ තථාගත තෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේද නොවෙයි කියා හෝ මේ සතර කාරණයන්හි පණවන්නාහුදැයි” ඇසූහ.

“ඇවැත්නි, යම් ඒ උත්තම පුරුෂවූ ශ්‍රෙෂ්ඨ පුරුෂවූ ශ්‍රෙෂ්ඨ පැමිණීමට පැමිණියාවූ යම් ඒ තථාගත කෙනෙක් වේද ඔහු තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයි කියා හෝ තථාගත තෙමේ මරණින් මතු නොවෙයි කියා හෝ තථාගත තෙමේ මරණින් මතු වන්නේද වෙයි. නොවන්නේද වෙයි කියා හේ තථාගත තෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේද නොවෙයි කියා හේ මේ කරුණු සතරින් වෙන්වම පණවන්නාහුයයි” ආයුෂ්මත් අනුරාධ ස්ථවිරතෙම කීහ.

මෙසේ කීකල්හි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ ආයුෂ්මත් අනුරාධ තෙරුන්ට මේ භික්ෂුව නවකයෙක් වන්නේය. පැවිදිවී වැඩිකල් නැත්තේය. තෙරකෙනෙක් වේවා බාලයෙක, අව්‍යක්තයෙකැයි” කීවාහුය. එකල්හි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ ආයුෂ්මත් අනුරාධ තෙරුන්ට අලුත් වාදයෙන්ද බාලවාදයෙන්ද අවමන් කොට හුනස්නෙන් නැඟිට ගියාහුය.

ඉක්බිති ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් ගිය නොබෝ වේලාවකින් ආයුෂ්මත් අනුරාධ තෙරුන්ට මෙසේ සිත්විය. “ඉදින් ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මගෙන් මත්තෙහි අසන්නාහු නම් කෙසේ ප්‍රකාශ කළ කල්හි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට භාග්‍යවතුන් වහන්සේ වදාරණ ලද්දක් කියන්නේ වෙම්ද, භාග්‍යවතුන් වහන්සේ බොරුවෙන් චොදනා නොකෙරෙම්ද, ධර්මයට අනුකූල ධර්මයක් ප්‍රකාශ කරන්නෙම්ද කිසියම් කරුණු සහිත වාදාරොපණයක් ගැරහිය යුතු බවට නොපැමිණෙන්නේදැයි’ මේ සිතවිය.

ඉක්බිති ආයුෂ්මත් අනුරාධ ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්නේය. එක්පසෙක හුන් ආයුෂ්මත් අනුරාධ ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේගෙන් ‘ස්වාමීනි, මෙහි මම භාග්‍යවතුන් වහන්සේට නුදුරු ආරණ්‍ය කුටියෙහි වාසය කරමි. ස්වාමීනි, එකල්හි බොහෝ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ මා යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ, මා සමග සතුටු වූවාහුය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එක්පසෙක සිටියාහුය.

“ස්වාමීනි, එක්පසෙක සිටි අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ මට ‘ඇවැත් අනුරාධය, උතුම් පුරුෂවූ ශ්‍රෙෂ්ඨ පුරුෂවූ උතුම් බවට පැමිණියාවූ යම් තථාගත කෙනෙක් වේද, ඔහු තථාගත තෙමේ මරණින් මතුවෙයි කියා හෝ තථාගතතෙමේ මරණින් මතු නොවෙයි කියා හෝ තථාගතතෙමේ මරණින් මතු වන්නේය කියා හෝ නොවන්නේය කියා හෝ තථාගතතෙමේ මරණින් මතු නොවෙයි. නොවන්නේද නොවෙයි කියා හෝ තථාගතයන් වහන්සේ පණවන්නාහුදැයි” ඇසූහ.

“ස්වාමීනි, මෙසේ අසන ලද මම ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ට ඇවැත්නි, උත්තම පුරුෂවූ ශ්‍රෙෂ්ඨ පුරුෂවූ උතුම් තැනට පැමිණියාවූ යම් ඒ තථාගත කෙනෙක් වේද, ඔහු තථාගතතෙමේ මරණින් මතුවෙයි කියා හෝ තථාගතතෙමේ මරණින් මතු නොවෙයි කියා හෝ තථාගතතෙමේ මරණින් මතු වන්නේය කියා හෝ නොවෙයි කියා හෝ තථාගතතෙමේ මරණින් මතු නොවෙයි. නොවන්නේද නොවෙයි කියා හෝ මේ සතර කාරණයන් තථාගතයන් වහන්සේ නොපණවත් යයි කීයෙමි.

“ස්වාමීනි, මෙසේ කීකල්හි අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ ‘මේ භික්ෂුව නවකයෙක් වන්නේය. පැවිදිවූ නොබෝකල් ඇත්තේය. තෙර කෙනෙක් හෝ වේවා, බාලයෙක අව්‍යක්තයෙකැයි’ කීවාහුය. ස්වාමීනි, ඉක්බිති ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ මට නවක වාදයෙන්ද, බාලවාදයෙන්ද අගෞරව කොට හුනස්නෙන් නැගිට ගියාහුය.

“ස්වාමීනි, ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන් ගිය නොබෝ වේලාවකින් මට ‘ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ ඉදින් මගෙන් මත්තෙහි ප්‍රශ්න විචාරන්නහු නම් ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට කෙසේ ප්‍රකාශ කළ කල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නෙම් වෙම්ද, භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් චොදනා නොකරන්නෙම්ද, ධර්මයට අනුකූල ධර්මයක් ප්‍රකාශකරන්නෙම්ද, කිසියම් කරුණු සහිත වාදයක් ගැරහිය යුතු බවට නොපැමිණෙන්නේදැයි’ මෙසේ සිත්විය.

“අනුරාධය, ඒ කුමකැයි හඟින්නෙහිද? රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් අනිත්‍යනම් එය දුකද සැපද?” - “ස්වාමීනි, දුකය.”

“යමක් වනාහි අනිත්‍යයද දුකද පෙරලෙන සුළුද, මේ මාගේය, මේ මම වෙමි. මේ මගේ ආත්මයයි. දැකීමට සුදුසුද?” - “ස්වාමීනි, නැත.”

“වේදනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් අනිත්‍ය නම් එය දුකද, සැපද?” - “ස්වාමීනි, දුකය.”

“යමක් වනාහි අනිත්‍යද, දුකද පෙරලෙනසුළුද, මේ මාගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්මයයි. දැකීම සුදුසුද?” - “ස්වාමීනි, නැත.”

“සංඥාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් අනිත්‍ය නම් එය දුකද, සැපද?” - “ස්වාමීනි, දුකය.”

“යමක් වනාහි අනිත්‍යද, දුකද පෙරලෙනසුළුද, මේ මාගේය,

මේ මම වෙමි, මේ මාගේ ආත්මයයි. දැකීම සුදුසුද?” - “ස්වාමීනි, නැත.”

“සංස්කාර නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් අනිත්‍යනම් එය දුකද, සැපද?” - “ස්වාමීනි, දුකය.”

“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරලෙනසුළුද, මේ මාගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්මයයි දැකීම සුදුසුද?” - “ස්වාමීනි, නැත.”

“විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් අනිත්‍ය නම් එය දුකද, සැපද?” - “ස්වාමීනි, දුකය.”

“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරලෙනසුළුද, මේ මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි. දැකීම සුදුසුද?” - “ ස්වාමීනි, නැත.”

“අනුරාධය, එසේ නම් මෙහි අතීතවූද, අනාගත වූද, වර්තමානවූද අධ්‍යාත්මවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සුඛුමවූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ආසන්නවූ හෝ යම්කිසි රූපයක් වේද, ඒ සියළු රූපය මෙය මගේ නොවේ. මේ මම නොවෙමි. මේ මගේ ආත්මය නොවේ. මෙසේ මෙය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුත්තාහ.

“අතීතවුද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සුඛුමවූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ආසන්නවූ හෝ යම්කිසි වේදනාවක් වේද, ඒ සියළු වේදනාව මෙය මගේ නොවේ. මේ මම නොවෙමි. මේ මගේ ආත්මය නොවේ. මෙසේ මෙය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දතයුත්තාහ.

“අතීතවූද, අනාගතවුද, වර්තමානවූද අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සුඛුමවූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ආසන්නවූ හෝ යම්කිසි සංඥාවක් වේද, ඒ සියළු සංඥාව මෙය මගේ නොවේ. මේ මම නොවෙමි. මේ මගේ ආත්මය නොවේ මෙසේ මෙය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුත්තාහ.

“අතීතවූද, අනාගතවුද, වර්තමානවූද අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සුඛුමවූ හෝ හීනවූ හෝ දුරවූ හෝ ආසන්නවූ හෝ යම්කිසි සංස්කාරයක් වේද, ඒ සියළු සංස්කාර මෙය මගේ නොවේ. මේ මම නොවෙමි. මේ මගේ ආත්මය නොවේ. මෙසේ මෙය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුත්තාහ.

“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සියම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි විඤ්ඤාණයක් වේද, ඒ විඤ්ඤාණය මෙය මගේ නොවේ. මේ මම නොවෙමි. මෙය මගේ ආත්මය නොවේයයි තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුයි.

“අනුරාධය, මෙසේ දක්නාවූ ආර්යශ්‍රාවකතෙම රූපයෙහිද, කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයෙහිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි නොඇලීමෙන් මිදෙයි. මිදුන කල්හි මිදුනේය යන ඥානය වේ. ඉපදීම ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මින්මතු අනික් භවයක් නැතැයි දනී.

“අනුරාධ, ඒ කුමකැයි හඟින්නෙහිද? රූපය තථාගත තෙමේයයි දක්නෙහිද?” - “නැත, ස්වාමීනි.”

“වේදනාව තථාගත තෙමේයයි දක්නෙහිද?” - “නැත. ස්වාමීනි.”

“සංඥාව තථාගත තෙමේයයි දක්නෙහිද?” - නැත, ස්වාමීනි.”

“සංස්කාර තථාගත තෙමේයයි දක්නෙහිද?” - “නැත, ස්වාමීනි.”

“විඤ්ඤාණය තථාගතතෙමේයයි දක්නෙහිද?” - “නැත, ස්වාමීනි.”

“අනුරාධය, ඒ කුමකැයි හඟින්නෙහිද? තථාගත තෙමේ රූපයෙහි ඇතැයි දක්නෙහිද?” - “නැත, ස්වාමීනි.”

“තථාගත තෙමේ රූපයෙන් පිට ඇතැයි දක්නෙහිද?” -“නැත, ස්වාමීනි.”

“තථාගතතෙමේ වේදනාවෙහි ඇතැයි දක්නෙහිද?” -“නැත, ස්වාමීනි.”

“තථාගතතෙමේ වේදනාවෙන් පිට ඇතැයි දක්නෙහිද?” -“නැත, ස්වාමීනි.”

“තථාගතතෙමේ සංඥාවෙහි ඇතැයි දක්නෙහිද?” - “නැත, ස්වාමීනි’

“තථාගතතෙමේ සංඥාවෙන් පිට ඇතැයි දක්නෙහිද?” -නැත, ස්වාමීනි.”

“තථාගතතෙමේ සංස්කාරයන්හි ඇතැයි දක්නෙහිද?” -“නැත, ස්වාමීනි.”

“තථාගතතෙමේ සංස්කාරයෙන් පිට ඇතැයි දක්නෙහිද?” - “නැත, ස්වාමීනි.”

“තථාගතතෙමේ විඤ්ඤාණයෙහි ඇතැයි දක්නෙහිද?” -“නැත, ස්වාමීනි.”

“තථාගත තෙමේ විඤ්ඤාණයෙන් පිට ඇතැයි දක්නෙහිද?” - “නැත, ස්වාමීනි.”

“අනුරාධය, ඒ කුමකැයි හඟින්නේද? රූපය, වේදනාව, සංඥාව, සංස්කාරය, විඤ්ඤාණය, තථාගත තෙමේ යයි දක්නෙහිද?” - “නැත, ස්වාමීනි.”

“අනුරාධය. ඒ කුමකැයි හඟින්නෙහිද? රූපය නොවන වේදනාව නොවන, සංඥාව නොවන, සංස්කාරයන් නොවන, විඤ්ඤාණය නොවන, යමෙක් තථාගත තෙමේයයි දක්නෙහිද?” - “නැත, ස්වාමීනි.”

“අනුරාධය, තොප විසින් මේ ආත්මයෙහි සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් තථාගතයකු නොලබන කල්හි ඇවැත්නි, උත්තම පුරුෂවූ ශ්‍රෙෂ්ඨ පුරුෂවූ උතුම් බවට පැමිණියාවූ යම් ඒ තථාගත කෙනෙක් වේද, ඔහු තථාගතතෙමේ මරණින් මතු වේයයි කියා හෝ තථාගතතෙමේ මරණින් මතු නොවේ යයි කියා හෝ තථාගතතෙමේ මරණින් මතු වන්නේද වෙයි නොවන්නේද වෙයි කියා හෝ තථාගතතෙමේ මරණින් මතු නොවෙයි නොවන්නේද නොවෙයි කියා හෝ මේ සතර කාරණයන්හි තථාගතයන් වහන්සේ පණවත් කියා ප්‍රකාශ කරන්ට සුදුසුද?” - “නැත, ස්වාමීනි.”

“අනුරාධය, යහපත. අනුරාධය, මම මීට පෙරද දැන්ද දුකද පණවමි. දුකෙහි නිරෝධයන්ද පණවමියි’ වදාළේය.