සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

10. අව්‍යාකත සංයුත්තය

6. ආරාම සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කාලයෙක්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේද බරණැස මිගදාය නම් ඉසිපතනයෙහි වාසය කරත්.

එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සවස් වේලාවෙහි විවේකයෙන් නැගීසිටියේ ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් සමග සතුටුවූහ. සතුටු විය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එක්පසෙක හුන්හ. එක්පසෙක හුන් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරතෙම ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරුන්ට මෙසේ කීයෙහිය. “කිමෙක්ද ඇවැත් කොට්ඨිතය, සත්වතෙමේ මරණින් මතු වේද?”

“ඇවැත්නි, සත්වයා මරණින් මතුවේයයි යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරණ ලදී.”

“ඇවැත්නි, කිමෙක්ද? සත්වතෙමේ මරණින් මතු නොවේද?”

“ඇවැත්නි, සත්ව තෙමේ මරණින් මතු නොවේය යන මෙයද භාග්‍යවතුන්වහන්සේ විසින් නොවදාරණ ලදී.”

“ඇවැත්නි, කිමෙක්ද, සත්වතෙමේ මරණින් මතු වන්නේත් නොවන්නේත් වේද?”

“ඇවැත්නි, සත්වතෙමේ මරණින් මතු වන්නේත් වෙයි. නොවන්නේත් වෙයි යන මෙයද තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලදී”

“ඇවැත්නි, කිමෙක්ද? සත්වතෙමේ මරණින් මතු නොවේද නොවන්නේත් නොවේද?”

“ඇවැත්නි, සත්වතෙමේ මරණින් මතු නොවේ නොවන්නේද නොවේ යන මෙයද තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලදී.”

“ඇවැත්නි, කිමෙක්ද? සත්වතෙමේ මරණින් මතු වේදැයි මෙසේ විචාරණ ලද්දේද, සත්වතෙමේ මරණින් මතු වේය යන මෙය තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්දේයයි කීයෙහිය.

“ඇවැත්නි, කිමෙක්ද? සත්වතෙමේ මරණින් මතු නොවේ දැයි මෙසේ විචාරණ ලද්දේද, සත්වතෙමේ මරණින් මතු නොවේය යන මෙය තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්දේයයි කීයෙහිය.

“ඇවැත්නි, කිමෙක්ද? සත්වතෙමේ මරණින් මතු වන්නේත් නොවන්නේත් නොවේදැයි මෙසේ විචාරණ ලද්දේද, සත්වතෙමේ මරණින් මතු වන්නේත් වෙයි, නොවන්නේත් වෙයි යන මෙය තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්දේයයි කීයෙහිය.

“ඇවැත්නි, කිමෙක්ද? සත්වතෙමේ මරණින් මතු නොවේද, නොවන්නේත් නොවේයයි මෙසේ විචාරණ ලද්දේද, සත්වතෙමේ මරණින් මතු නොවෙයිද නොවන්නේත් නොවේයයි යන මෙයද තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්දේයයි’ කීයෙහිය.

“ඇවැත්නි, යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොවදාරණ ලද්දේ නම් ඊට හේතු කවරේද, ඊට ප්‍රත්‍යය කවරේද?”

“ඇවැත්නි, රූපයට කැමතිවූ රූපයට ඇලුණාවූ රූපයට සතුටුවූ රූප නිරොධය තත්වූ පරිද්දෙන් නොදන්නාවූ නොදක්නාවූ පුද්ගලයාහට සත්වතෙමේ මරණින් මතු වේයයිද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවේයයිද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි නොවන්නේද වේයයි සිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි නොවන්නේත් නොවේ යයිද සිතෙයි.

“ඇවැත්නි, වේදනාවට කැමතිවූ වේදනාවට ඇලුණාවූ වේදනාවට සතුටුවූ වේදනා නිරොධය තත්වූ පරිද්දෙන් නොදන්නාවූ නොදක්නාවූ පුද්ගලයාහට සත්වතෙමේ මරණින් මතු වේයයිද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවේයයිද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි නොවන්නේද වේයයි සිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි නොවන්නේත් නොවේ යයිද සිතෙයි.

“ඇවැත්නි, සංඥාවට කැමතිවූ සංඥාවට ඇලුණාවූ සංඥාවට සතුටුවූ සංඥා නිරොධය තත්වූ පරිද්දෙන් නොදන්නාවූ නොදක්නාවූ පුද්ගලයාහට සත්වතෙමේ මරණින් මතු වේයයිද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවේයයිද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වේයයි සිතෙයි. සත්ව තෙමේ මරණින් මතු නොවෙයි නොවන්නේත් නොවේ යයිද සිතෙයි.

“ඇවැත්නි, සංස්කාරයෙහි කැමතිවූ සංස්කාරයට ඇලුණාවූ සංස්කාරයට සතුටුවූ සංස්කාර නිරොධය තත්වූ පරිද්දෙන් නොදන්නාවූ නොදක්නාවූ පුද්ගලයාහට සත්ව තෙමේ මරණින් මතු වේයයිද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවේයයිද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු වෙයි නොවන්නේද වේයයි සිතෙයි. සත්ව තෙමේ මරණින් මතු නොවෙයි නොවන්නේත් නොවේ යයිද සිතෙයි.

“ඇවැත්නි, විඤ්ඤාණයට කැමතිවූ විඤ්ඤාණයට ඇලුනාවූ විඤ්ඤාණයෙහි සතුටුවූ විඤ්ඤාණ නිරොධය තත්වූ පරිද්දෙන් නොදන්නාවූ නොදක්නාවූ සත්ව තෙමේ මරණින් මතු වේයයිද සිතෙයි. සත්වතෙම මරණින් මතු වන්නේද වෙයි නොවන්නේද වෙයි කියාද සිතෙයි. සත්ව තෙමේ මරණින් මතු නොවේයයි සිතෙයි. සත්ව තෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේද නොවේයයි සිතෙයි.

“ඇවැත්නි, “රූපයට කැමති නොවූ රූපයට නොඇලුණාවූ රූපයට සතුටුනොවූ රූප නිරොධය තත්වූපරිද්දෙන් දන්නාහට දක්නාහට සත්වයා මරණින් මතු වේයයි නොසිතෙයි.

“සත්වතෙමේ මරණින් මතු නොවේයයිද නොසිතෙයි සත්ව තෙමේ මරණින් මතු වන්නේද වෙයි නොවන්නේද වෙයි කියාද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි නොවන්නේ නොවේයයිද නොසිතෙයි.

“ඇවැත්නි, වේදනාවට කැමති නොවූ වේදනාවට නොඇලුනාවූ වේදනාවට සතුටුනොවූ වේදනා නිරොධය තත්වූපරිද්දෙන් දන්නාහට දක්නාහට සත්වයා මරණින් මතු වේයයි නොසිතෙයි.

“සත්වතෙමේ මරණින් මතු නොවේයයිද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි කියාද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේ නොවේයයිද නොසිතෙයි.

“ඇවැත්නි, සංඥාවට කැමති නොවූ සංඥාවට නොඇලුනාවූ සංඥාවට සතුටුනොවූ සංඥා නිරොධය තත්වූපරිද්දෙන් දන්නාහට දක්නාහට සත්වයා මරණින්මතු වේයයි නොසිතෙයි

“සත්වතෙමේ මරණින් මතු නොවේයයිද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි. නොවන්නේද වෙයි කියාද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි නොවන්නේ නොවේයයිද නොසිතෙයි.

“ඇවැත්නි, සංස්කාරයට කැමති නොවූ සංස්කාරයට නොඇලුනාවූ සංස්කාරයට සතුටු නොවූ සංස්කාර නිරොධය තත්වූපරිද්දෙන් දන්නාහට දක්නාහට සත්වයා මරණින් මතු වේයයි නොසිතෙයි.

“සත්වතෙමේ මරණින් මතු නොවේයයිද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි කියාද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි නොවන්නේ නොවේයයිද නොසිතෙයි.

“ඇවැත්නි, විඤ්ඤාණයට කැමති නොවූ විඤ්ඤාණයට නොඇලුනාවූ විඤ්ඤාණයට සතුටුනොවූ විඤ්ඤාණ නිරොධය තත්වූපරිද්දෙන් දන්නාහට දක්නාහට සත්වයා මරණින් මතු වේයයි නොසිතෙයි.

“සත්වතෙමේ මරණින් මතු නොවේයයිද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු වන්නේදවෙයි, නොවන්නේද වෙයි කියාද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේ නොවේයයිද නොසිතෙයි.

“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් කරුණකින් මෙය නොවදාරණ ලද්දේද මේ ඊට හේතුවයි මේ ඊට ප්‍රත්‍යයි”

“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් එය යම් කරුණකින් නොවදාරණ ලද්දේනම් ඊට අනිකුත් ක්‍රමයක් ඇත්තේද?” - “ඇවැත්නි, ඇත්තේය.”

“ඇවැත්නි, භවයට කැමතිවූ භවයට ඇලුණාවූ භවයට සතුටුවූ තත්වූපරිද්දෙන් භවනිරොධය නොදන්නාහට නොදක්නාහට සත්වතෙමේ මරණින් මතු වේයයිද සිතේ.

“සත්වතෙමේ මරණින් මතු නොවේයයිද සිතෙයි. සත්ව තෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි කියාද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි නොවන්නේ නොවේයයිද සිතෙයි.

“ඇවැත්නි, භවයට කැමති නොවූ භවයට නොඇලුණාවූ භවයට සතුටු නොවූ තත්වූ පරිද්දෙන් භව නිරොධය දන්නාහට දක්නාහට සත්වතෙමේ මරණින් මතු වේයයිද නොසිතෙයි.

“සත්වතෙමේ මරණින් මතු නොවේයයිද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු වන්නේදවෙයි, නොවන්නේදවෙයි කියාද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි නොවන්නේද නොවේයයි නොසිතෙයි.

“ඇවැත්නි, යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ නොකරණලද්දේ නම් මේද ඊට එක් ක්‍රමයකි.

“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් එය යම් කරුණකින් නොවදාරණ ලද්දේ නම් ඊට අනිකුත් ක්‍රමයක් ඇත්තේද?” - “ඇවැත්නි, ඇත්තේය.”

“ඇවැත්නි, උපාදානයට කැමතිවූ උපාදානයට ඇලුණාවූ උපාදානයට සතුටුවූ තත්වූ පරිද්දෙන් උපාදාන නිරොධය නොදන්නාහට නොදක්නාහට සත්වතෙමේ මරණින් මතුවේයයිද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවේයයිද සිතයි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි කියාද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේ නොවෙයි කියාද සිතෙයි.”

“ඇවැත්නි, උපාදානයට කැමති නොවූ උපාදානයට නොඇලුණාවූ උපාදානයට සතුටු නොවූ තත්වූ පරිද්දෙන් උපාදාන නිරොධය දන්නාහට දක්නාහට සත්වතෙමේ මරණින් මතු වේයයිද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවේයයිද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි නොවන්නේද වෙයි කියාද නොසිතෙයි. සත්වතෙමේ මරණින්මතු නොවෙයි, නොවන්නේ නොවෙයිද කියා නොසිතෙයි. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් කරුණකින් එය නොවදාරණ ලද්දේනම් මේද ඊට (එක්) ක්‍රමයකි.

“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් එය නොවදාරණ ලද්දේ නම් ඊට අනිකුත් කාරණයක් ඇත්තේද?” - “ඇවැත්නි, ඇත.”

“ඇවැත්නි, තණ්හාවට කැමතිවූ තෘෂ්ණාවට ඇලුණාවූ තණ්හාවට සතුටුවූ තෘෂ්ණා නිරෝධය තත්වූ පරිද්දෙන් නොදන්නාහට නොදක්නාහට සත්වතෙමේ මරණින් මතු වේයයිද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවේයයිද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි. නොවන්නේද වෙයි කියාද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි නොවන්නේ නොවේයයිද සිතෙයි.

“ඇවැත්නි, තණ්හාවට කැමති නොවූ තණ්හාවට නොඇලුණාවූ තණ්හාවට සතුටු නොවූ තෘෂ්ණා නිරෝධය තත්වූ පරිද්දෙන් දන්නාහට දක්නාහට සත්වතෙමේ මරණින් මතු වේයයිද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවේ යයිද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි. නොවන්නේද වෙයි කියාද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේ නොවෙයියයිද නොසිතෙයි. ඇවැත්නි, යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ විසින් එය නොවදාරණ ලද්දේ නම් ඇවැත්නි, මේද ඊට (එක්) ක්‍රමයකි.

“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් එය යම් කාරණයකින් නොවදාරණ ලද්දේ නම් ඊට අනික් ක්‍රමයක් ඇත්තේද?” ඇවැත් ශාරිපුත්‍රය, මෙහිලා මීට වැඩියෙන් තවත් කුමක් කැමැත්තෙහිද? ඇවැත් ශාරීපුත්‍රය, තෘෂ්ණා සංඛ්‍යාවෙන් මිදුනහුට සත්වයායයි පැනවීමට වෘත්තයක් නැත.”