සංයුත්තනිකායො

මහා වර්ගය

1. මාර්ග සංයුත්තය

5. අප්පමාද වර්ගය

1. පඨම අප්පමාද සූත්‍රය

[1] මා විසින් මෙසේ අසනලදී එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

[2] “මහණෙනි, පා නැත්තාවූ හෝ දෙපා ඇත්තාවූ හෝ සිව්පාවූ හෝ බොහෝ පා ඇත්තාවූ හෝ රූපීවූ හෝ අරූපී හෝ සඤ්ඤිවූ හෝ අසඤ්ඤිවූ හෝ නෙවසඤ්ඤි නාසඤ්ඤිවූ හෝ යම් පමණ සත්වයෝ වෙද්ද, ඔවුන් අතුරෙන් අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ තථාගතතෙමේ ශ්‍රෙෂ්ඨයයි කියයි. මහණෙනි, එසේම වනාහී යම් ඒ කුසල ධර්මයෝ වෙද්ද, ඒ සියල්ල අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි ඇතුළත් වෙත්. ඒ කුසල ධර්මයන්ට අප්‍රමාදය අග්‍රයයි කියයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති විය යුතුයි. මහණෙනි අප්‍රමාදයෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද?

[3] “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්‍යක් දෘෂ්ටිය වඩයි. විවේකය අසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්‍යක් සංකල්පය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්‍යක් වචනය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්‍යක් කර්මාන්තය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්‍යක් ආජීවය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්‍යක් ව්‍යායාමය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්‍යක් සතිය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්‍යක් සමාධිය වඩයි.

[4] “මහණෙනි, මෙසේ වනාහී අප්‍රමාදයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළ සේක.