සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
6. බලකරණීය වර්ගය
12. ගංගානදී සූත්‍රය
“මහණෙනි, යම්සේ ගංගානම් ගඟ පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නේ වේද? මෙසේ පවත්නා කල්හි මහජන සමූහයක් උදලු හා කූඩා රැගෙන ‘අපි මේ ගංගා නදිය පශ්චිම දිශාවට නැමී පශ්චිම දිසාවට හැරී පශ්චිම දිසාවට බරව පවත්නක් කරන්නෙමුයි’ එන්නේය.
“මහණෙනි, ඒ කුමකැයි සිතව්ද? ඒ මහජන සමූහයා ඒ ගංගානම් මහ නදිය පශ්චිම දිසාවට නැමී පශ්චිම දිසාවට හැරී පශ්චිම දිසාවට බරව පවත්නක් කරන්නේද?” “ස්වාමීනි, එය එසේ නොවේ.”
“ඊට හේතුව කවරේද?”
“ස්වාමීනි, ගංගානම් නදිය පෙර දිගට නැමී, පෙරදිගට හැරී, පෙරදිගට බරව පවත්නීය. ඒ නදිය පශ්චිම දිසාවට නැමී පශ්චිම දිසාවට හැරී, පශ්චිම දිසාවට බරව පවත්නක් කිරීම ලෙහෙසි නැත. හුදෙක් ඒ මහජන සමූහයා ක්ලාන්ත බවට වෙහෙසීමට පැමිණෙන්නේය.”
“මහණෙනි, එසේම මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ රජවරු හෝ රජමහ ඇමතියෝ හෝ මිත්‍රයෝ හෝ අසල්වැස්සෝ හෝ නෑයෝ හෝ සහලේ නෑයෝ හෝ ‘පින්වත් පුරුෂය, මෙසේ කුමක් හෙයින් නුඹ කසට වස්ත්‍ර දරන්නෙහිද? කුමක් හෙයින් හිස මුඩුකොට කබලක් ගත් අත් ඇතිව හැසිරෙන්නෙහිද?
‘එව, ගිහියෙක්ව, භොග සම්පත්ද අනුභව කරව. පිංද කරවයි’ කියන්නාහු නම් මහණෙනි, ඒකාන්තයෙන් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නාවූ ඒ මහණතෙම ශික්ෂාව (උපසම්පදාව) ප්‍රතික්ෂේපකොට ගිහි බවට පෙරළෙන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවෙයි. ඊට හේතුව කවරේද? මහණෙනි, යම් හෙයකින් ඔහුගේ සිත බොහෝ කලක් මුළුල්ලෙහි විවේකයට නැමුණු විවෙකයට හැරුණු විවේකයට බරවූ සිතක්වන්නේද එහෙයින් ඔහු ගිහිබවට පෙරළෙන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවෙයි.
මහණෙනි, මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද?
(මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි.)
“මහණෙනි, මෙසේ වනාහී මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩා යයි” වදාළසේක.
බලකරණීයවග්ගො ඡට්ඨො.