සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
7. එසනා වර්ගය
1. එසනා නිස්සිත සූත්‍රය
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්හ. එක්පසෙක හුන්නාවූ ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
[2] “මහණෙනි, මේ සෙවීම් තුනකි. කවරනම් තුනක්ද? කාමයන්ගේ සෙවීම, භවයාගේ සෙවීම (මිථ්‍යදෘෂ්ටි සංඛ්‍යාත) බ්‍රහ්මචරියාවගේ සෙවීම කියායි. මහණෙනි, මේ වනාහි ත්‍රිවිධ එසනාවෝයි. (සෙවීම් තුනයි.) මහණෙනි, මේ ත්‍රිවිධ එසනාවන් දැනගැනීම පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවරනම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද?
[3] “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් දෘෂ්ටිය වඩයි. විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් සංකල්පය වඩයි. විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරොධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් වචනය වඩයි. විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් කර්මාන්තය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් ආජීවය වඩයි. විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් ව්‍යායාමය වඩයි. විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්‍යක් සතිය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් සමාධිය වඩයි.
[4] “මහණෙනි, මේ ත්‍රිවිධ සෙවීම් දැනගැනීම පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි.
එසනා පරිඤ්ඤා සූත්‍රය
(මෙතැන් සිට ඇති මේ වර්ගයේ සියලු සූත්‍රවල 1 වෙනි ඡෙදය මේ වර්ගයේ මුල් සූත්‍රයේ 1 වෙනි ඡෙදය මෙනි)
“මහණෙනි, මේ සෙවීම් තුනකි. කවර නම් තුනක්ද? කාමයන්ගේ සෙවීම, භවයාගේ සෙවීම (මිථ්‍ය දෘෂ්ටි සංඛ්‍යාත) බ්‍රහ්මචර්යාවගේ සෙවීම කියායි. මහණෙනි, මේ වනාහි ත්‍රිවිධ සෙවීමය. මහණෙනි, මේ ත්‍රිවිධ සෙවීම් පිණිසද දැනීම පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද?
(මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි.)
මහණෙනි, මේ ත්‍රිවිධ සෙවීම් පිරිසිඳ දැනීම පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි.
එසනා පරික්ඛය සූත්‍රය
“මහණෙනි, මේ සෙවීම් තුනකි. කවරනම් තුනක්ද? කාමයන්ගේ සෙවීම භවයාගේ සෙවීම (මිථ්‍යාදෘෂ්ටි සංඛ්‍යාත) බ්‍රහ්මචරියාවගේ සෙවීම කියායි. මහණෙනි, මේ වනාහි සෙවීම් තුනය. මහණෙනි, මේ ත්‍රිවිධ සෙවීම් ක්ෂය කිරීම පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය. කවරනම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද?
(මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි.)
“මහණෙනි, මේ ත්‍රිවිධ සෙවීම් ක්ෂයකිරීම පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි.
එසනා පහාන සූත්‍රය
“මහණෙනි, මේ සෙවීම් තුනකි. කවරනම් තුනක්ද? කාමයන්ගේ සෙවීම භවයාගේ සෙවීම (මිථ්‍යාදෘෂ්ටි සංඛ්‍යාත) බ්‍රහ්මචරියාවගේ සෙවීම යනුයි. මහණෙනි, මේ වනාහි ත්‍රිවිධ සෙවීම්ය. මහණෙනි, මේ ත්‍රිවිධ සෙවීම් පහකිරීම පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවරනම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්?
(මේ ඡෙදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි.)
“මහණෙනි, මේ ත්‍රිවිධ සෙවීම් පහකිරීම පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි.