සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
2. විහාර වර්ගය
9. දෙවෙනි කුක්කුටාරාම සූත්‍රය
(මේ සූත්‍රයද මේ වර්ගයේ අටවෙනි සූත්‍රය මෙන් කුක්කුටාරාමයේදී දේශනා කරන ලදී.)
“ඇවැත්නි ආනන්දය, බ්‍රහ්මචරියාවය බ්‍රහ්මචරියාවයයි කියනු ලැබේ. ඇවැත්නි, බ්‍රහ්මචරියාව යනු කුමක්ද? බ්‍රහ්ම චරියාවගේ කෙළවර කුමක්ද?
“ආයුෂ්මත් භද්‍රය, යහපති, යහපති, ආයුෂ්මත් භද්‍රය, තාගේ ප්‍රශ්නය වනාහි යහපති, වැටහීම යහපති, විචාරීම යහපති. ඇවැත් භද්‍රය, නුඹ මෙසේ අසන්නෙහිද? ‘ඇවැත් ආනන්දයෙනි, බ්‍රහ්මචරියාවය බ්‍රහ්මචරියාවයයි කියනු ලැබේ. ඇවැත්නි, බ්‍රහ්මචරියාව නම් කුමක්ද? බ්‍රහ්මචරියාවේ කෙළවර කුමක්ද කියායි.
“ඇවැත්නි, එසේය.”
“ඇවැත්නි, මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයම බ්‍රහ්මචරියාවයයි කියනු ලැබේ. ඒ කවරහුද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මොහුයි. ඇවැත්නි, යම් ඒ රාගය නැති කිරීමක් වේද? දෝෂය නැති කිරීමක් වෙත්ද? මෝහය නැති කිරීමක් වේද? මෙය බ්‍රහ්මචරියාවගේ කෙළවරයයි කියනු ලැබේ.”