සංයුත්තනිකායො

මහා වර්ගය

1. මාර්ග සංයුත්තය

2. විහාර වර්ගය

10. තුන්වෙනි කුක්කුටාරාම සූත්‍රය

(මේ සූත්‍රයද මේ වර්ගයේ අටවෙනි සූත්‍රය මෙන් කුක්කුටාරාමයේදී දේශනා කරන ලදී.)

“ඇවැත් ආනන්දයෙනි, බ්‍රහ්මචරියාවය, බ්‍රහ්මචරියාවයයි කියනු ලැබේ. ඇවැත්නි, බ්‍රහ්මචරියාව නම් කුමක්ද? බ්‍රහ්මචාරී නම් කවරෙක්ද? බ්‍රහ්මචරියාවගේ කෙළවර කුමක්ද?

“ඇවැත් භද්‍රයෙනි, එසේය.”

“ඇවැත් භද්‍රයෙනි, තාගේ ප්‍රශ්නය වනාහි යහපති වැටහීම යහපති, විචාරීම යහපති, ඇවැත් භද්‍රයෙනි, නුඹ මෙසේ අසන්නෙහිද? ‘ඇවැත් ආනන්දයෙනි, බ්‍රහ්මචර්යාව බ්‍රහ්මචර්යාවයයි කියනු ලැබේ. ඇවැත්නි, බ්‍රහ්මචර්යාව නම් කුමක්ද? බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්නා නම් කවරෙක්ද?

බ්‍රහ්මචරියාවෙහි කෙළවර කුමක්ද? කියායි.

“ඇවැත්නි, එසේය.”

“ඇවැත්නි, මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයම වනාහි බ්‍රහ්මචරියාවයයි කියනු ලැබේ. ඒ කවරහුද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මොහුයි. ඇවැත්නි, යමෙක් වනාහි මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයෙන් යුක්තවේද? මොහු බඹසර හැසිරෙන්නායයි කියනු ලැබේ. ඇවැත්නි, යම් රාගය නැති කිරීමක් වේද, ද්වෙෂය නැති කිරීමක් වේද, මෝහය නැති කිරීමක් වේද? මෙය බ්‍රහ්මචරියාවගේ කෙළවරයයි කියනු ලැබේයයි” වදාළේය.

තීණි සුත්තන්තානි එකනිදානානි.විහාරවග්ගො දුතියො.