සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
1. අවිජ්ජා වර්ගය
7. නිබ්බාණ ධාතු සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, රාග විනය, ද්වේෂ විනය මෝහ විනය යනු කුමකට නමක්ද? “මහණ රාගවිනය, ද්වෙෂවිනය, මොහවිනය යන මෙය නිර්වාණ ධාතුවට නමකි ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම එයින් කියනු ලැබේ.”
“මෙසේ කී කල්හි ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, අමෘතයයි අමෘතයයි කියයි. ස්වාමීනි, අමෘතය යනු කුමක්ද? අමෘතගාමී මාර්ගය කුමක්ද?” - “මහණ යම් ඒ රාගය ක්ෂය කිරීමක් වේද? ද්වෙෂය ක්ෂය කිරීමක් වේද මෝහය ක්ෂය කිරීමක් වේද? මෙය අමෘතයයි කියනු ලැබේ. මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයම අමෘතගාමී මාර්ගයයි. ඒ කවරේද යත්? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධියයි” වදාළසේක.