සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
1. අවිජ්ජා වර්ගය
9. සූකොපම සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යම්සේ වරදවා තබන ලද (උඩුකුරු නොකොට) හැල් වී නණ්ඩුවක් හෝ යව වී නණ්ඩුවක් හෝ අතින් හෝ පයින් හෝ මඩින්නේ අත හෝ පය හෝ සිඳින්නේය. ලේ හෝ උපදවන්නේය යන මීට හෙතුවක් නැත. ඊට කාරණා කිම්ද? මහණෙනි, නණ්ඩුව වරදවා තබන ලද හෙයිනි. මහණෙනි, එමෙන්ම ඒ මහණතෙම එකාන්තයෙන් වරදවා තබන ලද දැකීම, වරදවා තබන ලද මාර්ග භාවනාව කරණකොට අවිද්‍යාව සිඳියි, විද්‍යාව උපදවන්නේය යන මීට හෙතු නැත්තේය. ඊට කාරණා කවරේද? දැකීම වරදවා තබන ලද හෙයිනි.
“මහණෙනි, යම්සේ මනාකොට තබන ලද හැල් වී නණ්ඩුවක් හෝ යව වී නණ්ඩුවක් හෝ අතින් හෝ පයින් හෝ මඩනා ලද්දේ අත හෝ පය හෝ සිඳියි. ලේ හෝ උපදවයි යන මීට හෙතු ඇත්තේය. ඊට කාරණා කවරේද? මහණෙනි, නණ්ඩුව මනාකොට තබන ලද බැවිනි. මහණෙනි, එමෙන්ම ඒ මහණතෙම ඒකාන්තයෙන් මනාකොට තබනලද දෘෂ්ටිය මනාකොට තබන ලද මාර්ග භාවනාව කරණ කොට අවිද්‍යාව සිඳියි. විද්‍යාව උපදවන්නේය. නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන්නේය යන මීට හෙතු ඇත්තේය. ඊට කාරණා කවරේද? මහණෙනි, දෘෂ්ටිය මනාව තබන ලද හෙයිනි.
“මහණෙනි, මහණතෙම මනාකොට තබන ලද දෘෂ්ටියෙන් තබන ලද මාර්ග භාවනාවෙන් කෙසේ නම් අවිද්‍යාව බිඳීද? විද්‍යාව උපදවයිද? නිවන ප්‍රත්‍යක්ෂකෙරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ විරාගය ඇසුරු කළාවූ නිරෝධය ඇසුරු කළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනාවූ සම්‍යක් දෘෂ්ටිය වඩයි.
විවෙකය ඇසුරු කළාවූ විරාගය ඇසුරු කළාවූ නිරොධය ඇසුරු කළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනාවූ සම්‍යක් සංකල්පය වඩයි.
“විවේකය ඇසුරු කළාවූ විරාගය ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනාවූ සම්‍යක් වචනය වඩයි.
“විවෙකය ඇසුරු කළාවූ විරාගය ඇසුරු කළාවූ නිරොධය ඇසුරු කළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනාවූ සම්‍යක් කර්මාන්තය වඩයි.
“විවේකය ඇසුරු කළාවූ විරාගය ඇසුරු කළාවූ නිරොධය ඇසුරු කළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනාවූ සම්‍යක් ආජීවය වඩයි.
“විවේකය ඇසුරු කළාවූ විරාගය ඇසුරු කළාවූ නිරොධය ඇසුරු කළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනාවූ සම්‍යක් ව්‍යායාමය වඩයි.
“විවේකය ඇසුරු කළාවූ විරාගය ඇසුරු කළාවූ නිරොධය ඇසුරු කළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනාවූ සම්‍යක් සතිය වඩයි.
“විවේකය ඇසුරු කළාවූ විරාගය ඇසුරු කළාවූ නිරෝධය ඇසුරු කළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනාවූ සම්‍යක් සමාධිය වඩයි.
“මහණෙනි, මෙසේ මේ මහණතෙම මනාකොට තබන ලද දෘෂ්ටිය මාර්ගය භාවනාව කරණකොට අවිද්‍යාව සිඳියි විද්‍යාව උපදවයි. නිර්වාණය ප්‍රත්‍යක්ෂ කෙරේයයි” වදාළේය.