සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
1. අවිජ්ජා වර්ගය
10. නන්දිය පරිබ්බාජක සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි වනාහි නන්දිය නම් පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවිය යුතු සිහිකටයුතු කථාව කොට නිමවා එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ නන්දිය පරිබ්‍රාජතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“භවත් ගෞතමයන් වහන්ස, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ කෙතෙක් ධර්මයෝ නිවනට පැමිණෙන්නාහු පිහිටකොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙත්ද?”
“නන්දිය, වඩන ලද බහුල කරන ලද ධර්ම අටක් නිවනට පැමිණෙන්නාහු නිවන පිහිටකොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙත්. කවර නම් අටක්ද? එනම් සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මොහුයි. නන්දිය, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ ධර්මයෝ අටදෙන නිවනට පැමිණෙන්නාහු නිවන පිහිටකොට ඇත්තාහු නිවන කෙළවරකොට ඇත්තාහු වෙත්.
“මෙසේ වදාළ කල්හි නන්දිය පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය ‘යහපති, භවත් ගෞතමයන් වහන්ස යහපති, භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු හෝ කෙරේද, සැඟවූවක් විවෘත හෝ කෙරේද, මංමුළාවූවෙකුට මාර්ගය හෝ කියයිද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අන්ධකාරයෙහි තෙල් පහනක් හෝ දරාද, එපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් දේශනා කරන ලදී. ස්වාමීනි, ඒ මම අද පටන් දිවිහිමියෙන් භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද, සංඝයාද සරණ යමි. භවත් ගෞතමයන් වහන්සේ මා උපාසකයෙකු කොට දරන සේක්වා” යනුයි.
අවිජ්ජාවග්ගො පඨමො.