සංයුත්තනිකායො
මහා වර්ගය
2. බොජ්ඣංග සංයුත්තය
2. ගිලාන වර්ගය
1. පාණොපම (ඉරියාපථොපම) සූත්‍රය
[1] මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] “මහණෙනි, යම්කිසි සත්වකෙනෙක් විවෙක යෑමද, විවෙක සිටීමද, විවෙක හිඳීමද, විවෙක සයනයද යන සතර ඉරියව් පවත්වත්ද ඒ සියලු සත්වයෝම යම්සේ පොළොව නිසා, පොළොවෙහි පිහිටාම ඒ සතර ඉරියව් පවත්වත්ද මහණෙනි, එපරිද්දෙන්ම මහණතෙමේ සීලය නිසා සීලයෙහි පිහිටා සප්ත බොධ්‍යංගයන් වඩයි. සප්ත බොධ්‍යංගයන් බහුල කරයි. මහණෙනි, කෙසේනම් මහණතෙමේ සීලය නිසා සීලයෙහි පිහිටා සප්ත බොධ්‍යංගයන් වඩයිද? සප්ත බොධ්‍යංගයන් බහුල කරයිද?
[3] “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ විවෙකය ඇසුරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ, සති සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ විවෙකය ඇසුරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ විවෙකය ඇසුරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ, විරිය සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි මේ ශාසනයෙහි මහණතෙමේ විවෙකය ඇසුරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ පීති සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ විවෙකය ඇසුරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ පස්සද්ධි සම්බොජ්ජංගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ විවෙකය ඇසුරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ නිරොධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ සමාධි සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මේ මහණතෙමේ විවේකය ඇසුරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද,
[4] “මහණෙනි, මෙසේ වනාහී මහණතෙමේ සීලය නිසා සීලයෙහි පිහිටා සප්ත බොධ්‍යංගයන් වඩයි. සප්ත බොධ්‍යංගයන් බහුල කරයි.”