සංයුත්තනිකායො
මහා වර්ගය
2. බොජ්ඣංග සංයුත්තය
1. පර්වත වර්ගය
6. කුණ්ඩලිය සූත්රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සාකේත නුවර මිගදාය සමීපයෙහි වූ අඤ්ජන වනයෙහි වාසය කරනසේක. ඉක්බිති කුණ්ඩලික නම් පරිබ්බාජකතෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ හා සමග සතුටුවිය. සතුටු විය යුතුවූ සිහි කටයුතුවූ කථාවකොට නිමකර, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ කුණ්ඩලික පරිබ්බාජකතෙම භාග්යවතුන් වහන්සේට මෙය කීයේය. “භවත් ගෞතමයන් වහන්ස, මම වනාහි ආරාම නිසා වාසයකරමින් පිරිස්වල හැසිරෙන්නෙක්වෙමි. භවත් ගෞතමයන් වහන්ස දවල් ආහාර අනුභව කළාවූ, මාගේ සවස් කාලයෙහි මේ හැසිරීම වෙයි. ආරාමයෙන් ආරාමයට, උයනින් උයනට, ගමන් කරමි. ඒ මම එහිදී වාදයන්ගෙන් ජයගැනීම ආනිසංස කොට ඇත්තාවූද, වාදයන්ට දොස්කීම ආනිසංස කොට ඇත්තාවූද, කථා කථා කරන්නාවූ සමහර මහණ බමුණන් දකිමි. භවත් ගෞතමයන්වහන්සේ කුමක් ආනිසංස කොට වාසය කරනසේක්ද?
“කුණ්ඩලිය. තථාගතතෙමේ අවිජ්ජා විමුක්ති ඵලය (අර්හත් මාර්ග ඵලය) ආනිසංසකොට වාසය කරන්නේයයි” වදාළසේක.
“භවත් ගෞතමයන් වහන්ස, වඩනලද්දාවූ, පුරුදුකරන ලද්දාවූ කිනම් ධර්මයෝ විජ්ජා විමුක්තිය සම්පූර්ණ කෙරෙත්ද?”
“කුණ්ඩලිය, වඩනලද්දාවූ, පුරුදුකරන ලද්දාවූ, සත්ත බොජ්ඣංගයෝ වනාහි විජ්ජා විමුක්තිය සම්පූර්ණ කෙරෙත්.’
“භවත් ගෞතමයන් වහන්ස, වඩනලද්දාවූ, පුරුදුකරන ලද්දාවූ, කිනම් ධර්මයෝ සත්ත බොජ්ඣංගයන් සම්පූර්ණ කෙරෙත්ද?
“කුණ්ඩලිය, වඩන ලද්දාවූ, පුරුදුකරන ලද්දාවූ සතර සතිපට්ඨානයෝ වනාහි සත්ත බොජ්ඣංගයන් සම්පූර්ණ කෙරෙත්.”
“භවත් ගෞතමයන් වහන්ස, වඩනලද්දාවූ, පුරුදුකරන ලද්දාවූ, කිනම් ධර්මයෝ සතර සතිපට්ඨානයන් සම්පූර්ණ කෙරෙත්ද?”
“කුණ්ඩලිය, වඩනලද්දාවූ, පුරුදුකරන ලද්දාවූ, ත්රිවිධ සුචරිතයෝ වනාහි සතර සතිපට්ඨානයන් සම්පූර්ණ කෙරෙත්.”
“භවත් ගෞතමයන් වහන්ස, වඩනලද්දාවූ, පුරුදුකරන ලද්දාවූ කිනම් ධර්මයෝ ත්රිවිධ සුචරිතයන් සම්පූර්ණ කෙරෙත්ද?”
“කුණ්ඩලිය, වඩනලද්දාවූ, පුරුදුකරන ලද්දාවූ ඉන්ද්රියසංවරය ත්රිවිධ සුචරිතයන් සම්පූර්ණකෙරේ. කුණ්ඩලිය, කෙසේ වඩන ලද්දාවූ, කෙසේ පුරුදුකරන ලද්දාවූ ඉන්ද්රිය සංවරය වනාහි ත්රිවිධ සුචරිතයන් සම්පූර්ණ කෙරෙත්ද? කුණ්ඩලිය, මේ ශාසනයෙහි මහණතෙම ඇසින් රූපයක් දැක මනාපවූවකට ලෝභ නොකෙරෙයිද, නොවෙහෙසෙයිද, රාගය ඇතිනොකෙරෙයිද, ඔහුගේ නාම කය නැවතුණේද වෙයි. ඇතුළත මනාකොට සිටියාවූ, සිත මනාකොට මිදුනේවෙයිද, ඇසින්ම අමනාප රූපයක් දැක, මතු නොවෙයිද, ක්ලේශ වශයෙන් නොහැකුළුණ සිත් ඇත්තේ වෙයිද, අදීන සිත් ඇත්තේ වෙයිද, ඔහුගේ නාම කය නැවතුණේ වෙයි. ඇතුළත සිටියාවූ සිත මනාකොට මිදුනේ වෙයි.
“කුණ්ඩලිය නැවතද මහණතෙම කනින් ශබ්දයක් අසා මනාපවූවකට ලෝභ නොකෙරෙයිද, නොවෙහෙසෙයිද, රාගය ඇතිනොකෙරෙයිද, ඔහුගේ නාම කය නැවතුණේද වෙයි. ඇතුළත මනාකොට සිටියාවූ, සිත මනාකොට මිදුනේවෙයිද, කනින් අමනාප ශබ්දයක් අසා මකු නොවෙයිද ක්ලේශ වශයෙන් නොහැකුළුණ සිත් ඇත්තේ වෙයිද, අදීන සිත් ඇත්තේවෙයිද, ඔහුගේ නාම කය නැවතුණේ වෙයි. ඇතුළත සිටියාවූ සිත මනාකොට මිදුනේ වෙයි.
“කුණ්ඩලිය, නැවතද මහණතෙම නැහැයෙන් අමනාප ගඳක් ආඝ්රාණයකොට, මනාපවූවකට ලෝභ නොකෙරෙයිද නොවෙහෙසෙයිද, රාගය ඇතිනොකෙරෙයිද, ඔහුගේ නාම කය නැවතුණේද වෙයි. ඇතුළත මනාකොට සිටියාවූ සිත මනාකොට මිදුනේවෙයිද, නැහැයෙන් අමනාපගඳක් ආඝ්රාණය කොට මකුනොවෙයිද, ක්ලේශ වශයෙන් නොහැකුළුණ සිත් ඇත්තේ වෙයිද, අදීන සිත් ඇත්තේ වෙයිද, ඔහුගේ නාම කය නැවතුණේ වෙයි. ඇතුළත සිටියාවූ සිත මනාකොට මිදුනේවෙයි.
“කුණ්ඩලිය, නැවතද මහණතෙම දිවෙන් අමනාපවූ රසයක් විඳ මනාපවූවකට ලෝභ නොකෙරෙයිද, නොවෙහෙසෙයිද, රාගය ඇති නොකෙරෙයිද, ඔහුගේ නාමය නැවතුණේද වෙයි. ඇතුළත මනාකොට සිටියාවූ සිත මනා කොට මිදුනේ වෙයිද, දිවෙන් අමනාපවූ රසයක් විඳ, මකු නොවෙයිද, ක්ලේශ වශයෙන් නොහැකුළුණ සිත් ඇත්තේ වෙයිද, අදීන සිත් ඇත්තේ වෙයිද, ඔහුගේ නාම කය නැවතුනේදවෙයි. ඇතුළත සිටියාවූ සිත මනාකොට මිදුනේ වෙයි.
“කුණ්ඩලිය, නැවතද මහණතෙම කයින් අමනාපවූ ස්පර්ශයක් ස්පර්ශකොට මනාපවූවකට ලෝභ නොකෙරෙයිද, නොවෙහෙසෙයිද, රාගය ඇති නොකෙරෙයිද, ඔහුගේ නාම කය නැවතුණේ වෙයි. ඇතුළත මනාකොට සිටියාවූ සිත මනාකොට මිදුනේ වෙයිද, කයින් අමනාපවූ ස්පර්ශයක් ස්පර්ශ කොට මකු නොවෙයිද, ක්ලේශ වශයෙන් නොහැකුළුණ සිත් ඇත්තේ වෙයිද, අදීන සිත් ඇත්තේ වෙයිද, ඔහුගේ නාමකය නැවතුණේවෙයි. ඇතුළත සිටියාවූ සිත මනාකොට මිදුනේ වෙයි.
“කුණ්ඩලිය, නැවතද මහණතෙම සිතින් අමනාපවූ ධර්මයක් දැන මනාපවූවකට ලෝභ නොකෙරෙයිද, නොවෙහෙසෙයිද, රාගය ඇති නොකෙරෙයිද, ඔහුගේ නාම කය නැවතුණේ වෙයි. ඇතුළත මනාකොට සිටියාවූ සිත මනාකොට මිදුනේ වෙයිද, සිතින් අමනාපවූ ධර්මයක් දැන මකු නොවෙයිද, ක්ලේශ වශයෙන් නොහැකුළුණ සිත් ඇත්තේ වෙයිද, අදීන සිත් ඇත්තේ වෙයිද, ඔහුගේ නාම කය නැවතුණේ වෙයි ඇතුළත සිටියාවූ සිත මනාකොට මිදුනේ වෙයි.
“කුණ්ඩලිය, යම්හෙයකින් ඇසින් රූපයක් දැක මනාප-අමනාපවූ රූපයන් කෙරෙහි මහණහුගේ නාමකය නැවතුණේවෙද, ඇතුළත සිටියාවූ සිත මනාකොට මිදුනේ වෙයිද,
“කනින් ශබ්දයක් අසා මනාප-අමනාපවූ ශබ්දයක් කෙරෙහි මහණහුගේ නාම කය නැවතුණේවේද, ඇතුළත සිටියාවූ සිත මනාකොට මිදුනේවෙයිද,
“නහයෙන් ගන්ධයක් ආඝ්රාණයකොට මනාප-අමනාපවූ ගන්ධයන් කෙරෙහි මහණහුගේ නාම කය නැවතුණේවේද, ඇතුළත සිටියාවූ සිත මනාකොට මිදුනේවෙයිද,
“දිවෙන් රසයක් විඳ මනාප-අමනාපවූ රසයන් කෙරෙහි මහණහුගේ නාමකය නැවතුණේවේද, ඇතුළත සිටියාවූ සිත මනාකොට මිදුනේවෙයිද,
“කයින් ස්පර්ශයක්කොට මනාප-අමනාපවූ ස්පර්ශයන් කෙරෙහි මහණහුගේ නාම කය නැවතුණේවේද, ඇතුළත සිටියාවූ සිත මනාකොට මිදුනේ වෙයිද,
“සිතින් ධර්මයක් දැන මනාප-අමනාපවූ ධර්මයන් කෙරෙහි මහණහුගේ නාමකය නැවතුණේවේද, ඇතුළත සිටියාවූ සිත මනාකොට මිදුනේවෙයිද,
“කුණ්ඩලිය, මෙසේ අසනලද, මෙසේ පුරුදුකරන ලද ඉන්ද්රිය සංවරය වනාහි ත්රිවිධ චරිතයන් සම්පූර්ණකෙරෙයි.
“කුණ්ඩලිය, කෙසේ වඩනලද්දාවූ කෙසේ පුරුදු කරන ලද්දාවූ ත්රිවිධ සුචරිතයෝ සතර සතිපට්ඨානයන් සම්පූර්ණ කෙරෙත්ද? කුණ්ඩලිය, මේ ශාසනයෙහි මහණතෙම කාය දුශ්චරිතය හැර කාය සුචරිතය වඩයිද, වාක්දුශ්චරිය හැර, වාක් සුචරිතයද වඩයිද, මනෝ දුශ්චරිතය හැර මනෝ සුචරිතයද වඩයිද, කුණ්ඩලිය, මෙසේ වඩනලද, මෙසේ පුරුදු කරනලද, ත්රිවිධ සුචරිතයෝ සතර සතිපට්ඨානයන් සම්පූර්ණ කෙරෙත්.
“කුණ්ඩලිය, කෙසේ වඩනලද, කෙසේ පුරුදුකරන ලද සතර සතිපට්ඨානයෝ සත්ත සම්බොජ්ඣංගයන් සම්පූර්ණ කෙරෙත්ද? කුණ්ඩලිය, මේ ශාසනයෙහි මහණතෙම කයෙහි කය අනුව දක්නේ කෙළෙස් තවන වීර්යයෙන් යුක්තවූයේ, නුවණින් යුක්තවූයේ, සිහියෙන් යුක්තවූයේ ස්කන්ධ ලෝකයෙහි ලෝභ දොෂයන් දුරුකොට වාසය කෙරෙයිද,
“වේදනාවන්හි වේදනාවන් අනුව බලන්නේ කෙළෙස් තවන වීර්යයෙන් යුක්තවූයේ, නුවණින් යුක්තවූයේ, සිහියෙන් යුක්තවූයේ ස්කන්ධලෝකයෙහි ලෝභ දොෂයන් දුරුකොට වාසය කෙරෙයිද,
“චිත්තයන්හි චිත්තයන් අනුව බලන්නේ කෙලෙස් තවන වීර්යයෙන් යුක්තවූයේ, නුවණින් යුක්තවූයේ, සිහියෙන් යුක්තවූයේ ස්කන්ධ ලෝකයෙහි ලෝභ දොෂයන් දුරුකොට වාසය කරයිද,
“ධර්මයන්හි ධර්මයන් අනුව බලන්නේ කෙළෙස් තවන වීර්යයෙන් යුක්තවූයේ, නුවණින් යුක්තවූයේ, සිහියෙන් යුක්තවූයේ ස්කන්ධ ලෝකයෙහි ලෝභ, දොෂයන් දුරුකොට වාසය කෙරෙයිද,
‘කුණ්ඩලිය මෙසේ වඩනලද, මෙසේ පුරුදුකරනලද සතර සතිපට්ඨානයෝ සත්ත සම්බොජ්ඣංගයන් සම්පූර්ණකෙරෙත්.
“කුණ්ඩලිය, කෙසේ වඩන ලද, කෙසේ පුරුදු කරන ලද සප්ත බොජ්ඣංගයෝ විජ්ජා විමුක්තිය සම්පූර්ණ කෙරේද?
කුණ්ඩලිය. මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ සති සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ විරිය සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ පීති සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ, සමාධි සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද,
“කුණ්ඩලිය, මෙසේ වඩන ලද, මෙසේ පුරුදු කරන ලද සත්ත බොජ්ඣංගයෝ විජ්ජාවිමුක්තිය සම්පූර්ණ කෙරේ.
“මෙසේ වදාළ කල කුණ්ඩලිය පරිබ්රාජක තෙම භාග්යවතුන් වහන්සේට මෙය කීයේය. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති, භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු හෝ කෙරේද, සැඟවූවක් විවෘත හෝ කෙරේද, මං මුළාවූවෙකුට මාර්ගය හෝ කියයිද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි, අන්ධකාරයෙහි තෙල් පහනක් හෝ දරාද, එපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ක්රමයෙන් දේශනා කරනලදී. ස්වාමීනි, ඒ මම අද පටන් දිවිහිමියෙන් භාග්යවතුන් වහන්සේද, ධර්මයද, සංඝයාද සරණයමි. භවත් ගෞතමයන් වහන්සේ දිවිහිමිකොට සරණගිය උපාසකයෙකු කොට මා දරණ සේක්වා”