සංයුත්තනිකායො

මහා වර්ගය

2. බොජ්ඣංග සංයුත්තය

1. පර්වත වර්ගය

7. කුටාගාරොපම සූත්‍රය

(මේ සූත්‍රය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)

“මහණෙනි, යම්සේ මුදුන් ගෙයක යම්කිසි ගොනැසි වෙත්ද ඒ සියල්ල මුදුනට නැමුණාහු, මුදුනට නැඹුරුවූවාහු, මුදුනට බරවූවාහු වෙත්ද මහණෙනි, එසේම සත්ත බොජ්ඣංගයන් වඩන්නාවූ සත්ත බොජ්ඣංගයන් පුරුදු කරන ලද්දාවූ මහණතෙම වනාහි නිවනට නැමුණේ නිවනට නැඹුරුවූයේ, නිවනට බරවූයේ වෙයි. මහණෙනි, සත්ත බොජ්ඣංගයන් වඩන ලද, පුරුදු කරන ලද මහණ තෙම කෙසේ නිවනට නැමුණේ, නිවනට නැඹුරුවූයේ, නිවනට බරවූයේ වේද?

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට බරවූ සති සම්බොජ්ඣංගය වඩයිද,

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට බරවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ, නිවනට බරවූ විරිය සම්බොජ්ඣංගය වඩයිද,

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට බරවූ පීති සම්බොජ්ඣංගය වඩයිද,

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට බරවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට බරවූ සමාධි සම්බොජ්ඣංගය වඩයිද,

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට බරවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මෙසේ වනාහි සප්ත බොජ්ඣංගයන් වඩන්නාවූ බහුල කරන්නාවූ මහණතෙම නිවනට නැමුණේ, නිවනට හැරුණේ නිවනට බරවූයේ වෙයි.”