සංයුත්තනිකායො
මහා වර්ගය
4. ඉන්ද්‍රිය සංයුත්තය
5. ජරා වර්ගය
5. පුබ්බාරාම එකින්ද්‍රිය සූත්‍රය
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර පූර්වාරාමයෙහි මිගාරමාතු ප්‍රාසාදයෙහි වැඩ සිටිසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ‘මහණෙනියි’ කියා ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] ‘මහණෙනි, කෙතෙක් ඉන්ද්‍රියයන් වැඩීමෙන් බහුල කිරීමෙන් ක්ෂීණාශ්‍රව භික්ෂුතෙම ‘ජාතියක්ෂය විය. බඹසරවැස නිමවනලදී. කළයුත්ත කරනලදී. මෙයින් අනික් භවයක් නැතැයි දන්නෙමියි’ රහත්බව ප්‍රකාශකරයිද?”
‘ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහුය භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන්වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දරන්නාහුය”
[3] “මහණෙනි, එක් ඉන්ද්‍රියක් වැඩීමෙන් බහුල කිරීමෙන් ක්ෂීණාශ්‍රව භික්ෂුතෙම ‘ජාතිය ක්ෂයවිය, බඹසර වැස නිමවනලදී. කළයුත්ත කරනලදී මෙයින් පසු අනික් භවයක් නැතැයි දන්නෙමියි’ රහත්බව ප්‍රකාශකරයි. කවර එක් ඉන්ද්‍රියයද? පඤ්ඤින්ද්‍රියයාගේ (ඉන්ද්‍රිය) මහණෙනි, ප්‍රඥාවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයාට ඊට අනුව ශ්‍රද්ධාව පිහිටයි. ඊට අනුව වීර්‍ය්‍යය පිහිටයි. ඊට අනුව සිහිය පිහිටයි. ඊට අනුව සමාධිය පිහිටයි.
[4] “මහණෙනි, මේ එක ඉන්ද්‍රියයක්හුගේ වැඩීමෙන් බහුල වසයෙන් වැඩීමෙන් ක්ෂීණාශ්‍රව භික්ෂුතෙම ‘ජාතිය ක්ෂයවිය බඹසර වැස නිමවනලදි. කළයුත්ත කරණලදී. මෙයින් පසු අනික් භවයක් නැතැයි දන්නෙමියි’ රහත්බව ප්‍රකාශ කරයි.