සංයුත්තනිකායො
මහා වර්ගය
4. ඉන්ද්‍රිය සංයුත්තය
5. ජරා වර්ගය
7. පුබ්බාරාම චතුරින්ද්‍රිය සූත්‍රය
[1] (මේ ඡෙදය මේ වර්ගයෙ 5 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡෙදය මෙනි.)
[2] “මහණෙනි, කොපමණ ඉන්ද්‍රියයන්ගේ වැඩීමෙන් ක්ෂීණාශ්‍රව තෙමේ ‘ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් අනිත් භවයක් නැතැයි දන්නෙමියි’ රහත්බව ප්‍රකාශ කරයිද?”
ස්වාමීනි, ධර්මය භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දන්නාහුය.
[3] “මහණෙනි, ඉන්ද්‍රියයන් සතර දෙනෙකුන්ගේ වැඩීමෙන් බහුල කිරීමෙන් ක්ෂීණාශ්‍රව භික්ෂුතෙම ‘ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී, මෙයින් අනික් භවයක් නැතැයි දන්නෙමියි’ රහත්බව ප්‍රකාශ කරයි.
“කවර සතරක්හුගේද යත්. විරියින්ද්‍රියගේද, සතින්ද්‍රියගේද, සමාධින්ද්‍රියගේද, පඤ්ඤින්ද්‍රියගේද වෙයි.
[4] “මහණෙනි, මේ සතර ඉන්ද්‍රියයන්ගේ වැඩීමෙන් බහුල කිරීමෙන් ක්ෂීණාශ්‍රව භික්ෂුතෙම ‘ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් අනිත් භවයක් නැතැයි දන්නෙමියි’ රහත්බව ප්‍රකාශ කරයි.”